මේ ගතවෙන්නේ කලාව වාරණය කිරීම සම්බන්ධයෙන් කතන්දර ගොඩක් කියවෙන, ඇහෙන කාලයක්. වාරණය සම්බන්ධයෙන් අතීතයේ ඉඳලා බැලුවම හැටහුටහමාරක් වෙච්චි චිත්‍රපට, පොත්, නාට්‍ය වගේම ගීත නිර්මාණත් තියෙනවා. අද අපිට ඉඳලා හිටලා ඇහෙන ගීතත් කාලෙකට කලින් එක එක සීන්කෝන්වලට වාරණයට ලක් කරලා තියනවා. ඒ වගේ ගීත කීපයක කතාවයි මේ.
1. මුළු හදින් මම ඇයට පෙම් කොට – නාරද දිසාසේකර
සුභාවිත ගීතයේ අමතක නොවන සලකුණක් තමයි නාරද දිසාසේකර. මුළු හදින් මම කියන විරහ ගීතය ලියන්නේ එඩ්මන් ජයසූරිය. ඒ වචන දිසාසේකරයන්ගේ හැඟීම්බර හඬ එක්ක මුසු වුණ සංයෝගය මොන තරම් ප්‍රබල ද කියනවා නම් ගීතය වාරණයකට ලක් වෙනවා. පුදුමය තමයි වාරණයට ලක් වීමට හේතුව. ඉස්සර හරි හරියට ගීත ප්‍රචාරණය වුණේ රේඩියෝවෙන්නේ. මේ ගීතයේ තියන අතිශය සංවේදීබව නිසාම සමාජයෙන් කාරුණික ඉල්ලීමක් කෙරෙනවා ප්‍රචාරය කිරීම නවත්තන විදියට. කොටින්ම කියනවා නම් අහන ඈයින්ගේ ඔලුව විකල් වෙන තරමට විරහ වේදනාව ඒ දවස්වල දැනිලා තියෙනවා. අංගොඩ මානසික රෝහලේ ප්‍රේමයෙන් පරාජිත අයගේ මුවග නිතර රැඳුණ ගීතයක් වෙලා තියනවා. මේ ගීතය අහන ගමන් වේදනාව දරාගන්න බැරුව අයෙක් රේඩියෝවට පොරවෙනුත් කොටලා තියනවා.
2. බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව – ඇන්ජලීන් ගුණතිලක
ඇන්ජලින් ගුණතිලක ගායනා කරන මේ මධුර ගීතය මොන හත්තිලව්වකට වාරණය කරන්න ඇති ද කියලා හිතෙන්න පුළුවන්. මේකයි කතාව. ඕකේ තියෙන්නේ අරවා මේවා ගේන්න පොරොන්දු වෙනවා ඒත් උපන්තේකට පොරොන්දු ඉෂ්ට කරන්නේ නෑ වගේ කතාවක් නේ. ජේ ආර් ජයවර්ධන පාලන සමයේ තමයි මේ ගීතය කරලියට බහින්නේ. මේ ගීතයේ තියෙන අර්ථය නිසා විරුද්ධ පක්ෂයේ අය දේශපාලන වේදිකාවල මේක ගායනා කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අන්තිමේ ප්‍රේමකීර්ති අල්විස් අතින් ලියැවුණ මේ ගීතයත් වාරණයට ලක් වෙනවා.
3. කාගෙද ගොන් වස්සා – ඇනස්ලි මාලේවන
මේ සින්දුවේ තියෙන්නේ මැණිකා කියන දැරිවිගේ හරකා සිරිමල් කියන හාදයාගේ කුඹුරට පැනලා ඒක පාලු කරාට පස්සේ එයා හරකාව බැඳ තබාගන්න එකත්, හරකා නිදහස් කරගන්න මැණිකා පැණි වරකා බෑයක් හිලව් කරගන්න එකත්. අවසානයේ සිරිමල් මනමාල පාට් එකකුත් දානවා. එච්චරයි. ඒත් සිද්ධ වුනේ කවුරුත් හිතුවේ නැති දෙයක්. මේ ගීතයෙන් ආණ්ඩුවට හින්ට් ගහන්න මිනිස්සු පටන් ගත්තා. ගොන් වස්සා, සිරිමල් කියන චරිතවලට ඒ කාලේ දේශපාලන ප්‍රබලයෝ සහ ඒ අයගේ පවුලේ අයව සම්බන්ධ කරගත්තා. අන්න ඒ නිසා 1970-1977 අතර කාලයේ මේ ගීතය වාරණයට ලක් වුණා.
4. මගෙ රත්තරන් හෙලේනා – රෝහණ බැද්දගේ
ප්‍රේක්ෂක ජනතාව අදටත් රස විඳින, අපේ විදියට කිව්වොතින් හෙන කික් එකක් තියෙන ගීතයක් නේ මේ. ඉතින් ඒක වාරණය කරන්න යන්න ඇත්තේ මොකටද? හේතුව විදියට සඳහන් වෙන්නේ නම් ටිකක් විතර හිනා යන කේස් එකක්. මේ ගීතයෙන් දේශපාලනයට සම්බන්ධ නෝනා කෙනෙකුට අපහාස කෙරෙනවාය කියලා දේශපාලන උපදේශක පට්ටමක් දරපු මහත්තයෙක් කියලා තියනවා. අන්න ඒ නිසා එක්තරා කාල සීමාවකදී මේ ලස්සන ගීතය වාරණයකට යටත් වුණා.
5. බිම්බරක් සෙනග – ගුණදාස කපුගේ
මේ ගීතය වෙල්ලස්සේ ගීතය කියලත් හඳුන්වනවා. ඒකට හොඳ හේතුවකුත් තියනවා. ගීතය අහද්දී එනවා පුදුමාකාර ජවයක්. කැක්කුමක්. අන්න ඒ කැක්කුම නිසාම ද මන්දා එවකට රජය මේ ගීතය වාරණයට ලක් කරනවා. හේතුව මේකයි. රත්න ශ්‍රී මහතා මොණරාගල පැත්තේ පාසලක වැඩ කරද්දී තමයි මේ ගීතය ලියන්න අවස්ථාවක් ලැබෙන්නේ. දවසක් ඉස්කෝලේ යනකොට එහේ කච්චේරිය ගාව උද්ඝෝෂණයක්. බැලින්නම් පාරම්පරික ඉඩම් ටිකක් බහුජාතික සමාගම්වලට විකුණන්න යනවාට එදිරිවයි ඒ. එතන දී රත්න ශ්‍රීගේ ඇස ගැටෙනවා මුතුන් මිත්තන්ගේ ඇටකටු වැළලූ ඉඩම් බහුජාතික සංවිධානවලට නොදෙනු කියලා සටන් පාඨයක්. ඒ හරහා තමයි ගීතය ලියවෙන්නේ. කපුගේ ගේ ‘කම්පන’ කියන ප්‍රසංගය උදෙසාම විරචිත මේ ගීතයෙන් ඇති කළ කම්පනය ඉවර වුණේ වාරණයෙන්.
6. උඩරට කඳුකරයේ – ඇනස්ලි මාලේවන
දුන්හිඳ කොමළිය. ඒ කාලේ ආදරේට දුන්හිඳට කිව්වේ එහෙමයි. ඒත් දැන් නම් මොන කොමළයක්වත් නෑ පට්ට පෑවිල්ල. කොහොමහරි මේ ගීතය වාරණය වෙන්නේ එකම එක පද පේළියක් නිසා. ‘නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන්’ කියන වචන පහ නිසා අලංකාර ගීතයක් වාරණයකට යටත් වෙනවා.
7. රැජින මමයි අපේ රාජ්ජේ – ලතා වල්පොල
සෞන්දර්‍ය රසයෙන් අනූන වුණත්, කැරැල්ලට එකතු වෙන්න දෙන අනුබලයක් විදියට අර්ථ දක්වලා තහනමට ලක් වූ ගීයක් තමයි මේ. සංදේශය චිත්‍රපටයේ එන මේ ගීතය කියන්නිය විදියට පෙන්වන්නේ කන්ද උඩරට කඳුකරයේ හැංගිලා පෘතුගීසින්ට විරුද්ධව සටන් කරන කැරලි නායකයාගේ බිරිඳ. ඉතින් ඒකම මදෑ. භීෂණ කාලයේ දී වාරණයට ලක් වුණා.
මීට අමතරව ඒ කාලයේ ගීත විශාල වශයෙන් වාරණයට ලක් වෙලා තියෙනවා. නන්දා මාලිනීගේ පවන කැසට් පටයම සම්පූර්ණයෙන් වාරණයට ලක් වෙනවා. කොහොම හරි මේ සඳහන් කළ ගීත සියල්ලේ වාරණ සීමා සහිත වුණා. අද ප්‍රසංග වේදිකාවලත් මේවා ඕනෑ තරම් කියනවා.
Cover Image Source -youtube.com
Leave a Reply