මෙන්න ස්මාට් මනුස්සයෙක් නොකරන දේවල් කීපයක්!

සමහර කොල්ලෝ ඉන්නවා ඒ අය උපතින්ම ස්මාට්. සමහරු ඉන්නවා ස්මාට් කියන ගුණාංගය වසර ගණනක පළපුරුද්දෙන් ලඟා කරගන්න අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, ඒ අය කාලයත් එක්ක ස්මාට් කියන එක ජීවිතේට ඇතුළත් කරගෙන ඉන්නේ. මේ විදියේ ස්මාට් මිනිස්සු ඇත්තටම ලෝකේ ඉන්න අනික් මිනිස්සුන්ගෙන් පැහැදිලිවම කැපිලා පේනවා. ඒකට සෑහෙන්න හේතු සාධකත් තියෙනවා. ඉතින් අපිටත් එහෙම ස්මාට් මනුස්සයෙක් වෙන්න බැරිද? අනිවාර්‍යයෙන්ම පුළුවන්. හැබැයි ඒකට ජීවිතේ වෙනමම හික්මීමක් එක්ක ක්‍රමයක් හදාගන්න ඕන. ආන්න එහෙම එකක් හදාගන්න නම් අපේ ජීවිතේ තියෙන අප්සට් පුරුදු වෙනස් කරගන්න ඕන. ඒකට ස්මාට් මනුස්සයෙක් ලේසියෙන් නොකරන අප්සට් දේවල් මොනවද කියලා හොයලා බලලා දැනගන්න ඕන. ආන්න ඒකට උදවුවක් තමයි මේ!

 

1. ඩීසන්ට් ඇඳුම් පැළඳුම් තියෙනවද?

ගොඩක් දෙනෙක් හිතන්නේ ස්මාට් විදියට අඳිනවා කියන්නේ මිලෙන් අධික ඇඳුම් පැළඳුම්, මිලෙන් අධික සෙන්ට් වර්ග එහෙම පාවිච්චි කරනවා කියන එකයි කියලා. එහෙම නෑ. ස්මාට් විදියට අඳිනවා පළඳිනවා කියන්නේ එකක් තැනට සුදුසු විදියට අඳිනවා කියන එක. දෙක, ඩීසන්ට් විදියට අඳිනවා කියන එක. විශේෂයෙන්ම ස්මාට් මනුස්සයෙක් විච්චූර්ණ ඇඳුම් ඇඳගෙන හැම තැනම යන්නෙ නෑ. මට හරියනම ඇඳුම ෂෝටයි, ටී ෂර්ට් එකයි, බාටා දෙකයි කියලා හැමතැනටම ඒක දාගෙන යන මනුස්සයෙක්ගෙන් ස්මාට් පෙනුමක් එන්නෙ නෑ. හැබැයි සරලව යන්න ඕන තැනට ඩෙක්ෂූස් දාගෙන යන මනුස්සයෙක්ගෙනුත් ස්මාට් පෙනුමක් එන්නෙ නැහැ කියන එක කියන්න ඕන. මතක තියාගන්න, ස්මාට් වෙන්න නම් සරල බව, තැනට ගැලපෙන බව, පිරිසිදු බව, පිළිවෙල බව කියන දේවල් ටික තියෙන්න ඕන.

 

2. වගකීම් සහගත හැසිරීමක් තියෙනවද?

ස්මාට් මනුස්සයෙක් කියන්නේ හැම වෙලාවකම ලෝකේ තමන්ගේ ඔලුව උඩ තියෙනවා වගේ සීරියස් ගහලා ඉන්න හාදයෙක් නෙවෙයි. ස්මාට් මනුස්සයෙක් දන්නවා හිනා වෙලා, විහිළුවක් කරලා ඉන්න. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලදී ස්මාට් මනුස්සයෙක් හරි වගකීම් සහගතයි. ඒ වගකීම් සහගත බව ස්මාට් මනුස්සයෙක්ගේ හැසිරීමෙන් පේනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ස්මාට් මනුස්සයෙක් වැඩක් බාරගන්නේ හිතලා මතලා. හැබැයි බාරගත්තට පස්සේ වැඩේ කොහොමහරි කරනවා. එතකොට සාමාන්‍යයෙන් බැංකුවක වැඩක්, ඉස්පිරිතාලෙක වැඩක් වගේ එදිනෙදා මුහුණ දෙන්න වෙන සිදුවීමකදී වුනත් ෆුල් කන්ෆියුස් වෙලා කොහොමද කරන්න ඕන, කොහාටද යන්න ඕන වගේ දේවල් අහ අහා ඉන්නෙ නෑ. වැඩේ කරගන්න, මිනිස්සුත් එක්ක කටයුතු කරන්න දන්නවා.

 

3. මනුස්සයෝ එක්ක හොඳ සන්නිවේදනයක් තියෙනවද?

ස්මාට් මනුස්සයෙක් දන්නවා හරි විදියට මිනිස්සු එක්ක කථා බහ කරන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට හැම වෙලාවකම නිසි ගෞරවය දීලා කථා කරන්න මේ වගේ මනුස්සයෙක් දන්නවා. තමන් වැඩ කරන එක් එක් වර්ගයේ, එක් එක් සමාජ තලයේ මිනිස්සු ගැන මේ විදියේ හාදයෙක් හොඳට දන්නවා. අන්න ඒ නිසා ස්මාට් මනුස්සයෙක්ට පුළුවන් ඕනම රැකියාවක, ඕනම සමාජ තලයක මනුස්සයෙක් එක්ක කථා බහ කරන්න, හැසිරෙන්න වගේම මනුස්සයෙක්ගේ රැකියාව හෝ සමාජ තත්ත්වය නොසලකා ගෞරවය දක්වන්නත්. මේ හැමදේටමත් වඩා උඩින් ස්මාට් මනුස්සයෙක්ට හොඳ සන්නිවේදන හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට කියන්න ඕන දේ, අනික් කෙනාට අපහාසයක් හෝ උපහාසයක් හෝ සිත් රිදීමක් ඇති නොවෙන විදියට කියන්න ස්මාට් මනුස්සයෙක් දන්නවා. ඒක කරන්න ලොකු අමාරුවක් නෑ. තමන් කියන දේ ගැන කියන්න කලින් හිතා බලන එක ආරම්භක පියවරක් විදියට ප්‍රමාණවත්!

 

4. වෙලාවට වැඩ තියෙනවද?

ඇත්තටම අපි රටක් විදියටම වෙලාවට වැඩ නොකරන ජාතියක්. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොම වුනත් රටේ බොහෝමයක් දෙනෙක් වෙලාවට වැඩක් නොකරන නිසාම, වෙලාවට හරියට වැඩක් කරන මනුස්සයෙක් අනික් අය අතරේ කැපිලා පේනවා. ආන්න ඒක තමයි ස්මාට් කම කියන්නේ. වෙලාවට වැඩ කරනවා කියන එකේදී දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කම්මැලිකමක් නැති වීම. ස්මාට් මනුස්සයෙක් කම්මැලි නෑ. ඒ නිසාම එයා යම් වැඩක් කරන්න වුවමනා නම් එයා කම්මැලි කම් නැතුව ඒ වැඩේට අවශ්‍ය වෙලාවට කලින් සූදානම් වෙනවා. අනික් එක තමයි, සාමාන්‍යයෙන් රටේ හැටියට අපිට වෙලාවට වැඩ කරනවට වඩා පරක්කු වෙන්න තමයි ලේසි. අන්න ඒ නිසාම ස්මාට් මනුස්සයෙක් තමන්ට හරියටම දේවල් පුළුවන් වෙලාව ගැන හිතලා තමයි වැඩක් බාරගන්නේ වුනත්, කොහේට හරි එන්න පොරොන්දුවක් දෙන්නේ වුනත්. ආන්න ඒ නිසා එයාට සාමාන්‍යයෙන් වෙලාවට වැඩ කරන මනුස්සයෙක් වෙන්න පුළුවන් කම තියෙනවා.

 

5. ආචාරශීලීත්වය තියෙනවද?

අද කාලේ ගොඩක් දෙනෙක් ආචාරශීලී වෙන්න ඕන කියන එක ඒ තරම් හිතන්නෙ නෑ. හැබැයි ස්මාට් මනුස්සයෙක් දන්නවා ආචාරශීලී වීමේ වැදගත්කම. ඇත්තටම මේ කාරණය අපි උඩින් කියපු සන්නිවේදන හැකියාව එක්කත් සම්බන්ධයි. ස්මාට් මනුස්සයෙක් කාන්තාවකට දොරක් ඇරලා දෙනවා වගේ දේක ඉඳලා, තමන්ට දෙයක් කරලා දෙන, තමන්ට බඩුවක් විකුණන, තමන්ට සේවාවක් සපයන කෙනෙක්ට ස්තුතියි කියන එක දක්වා ආචාරශීලීත්වය පවත්වා ගන්න ඉහළින්ම උත්සාහ දරනවා. ඒ විතරක් නෙවෙයි, ස්මාට් මනුස්සයෙක් හැසිරෙන විදියේ ඉඳලා කථාබහ කරන දේවල් දක්වා ඒ ආචාරශීලීත්වය තියෙනවා.

 

6. නාස්තිකාරයිද? ලෝබයිද?

මේක අද කාලේ ගොඩක් දෙනෙක් ඉන්න අන්ත දෙකක්. එක කොටසක් ඉන්නවා කිසිම මොහොතක, අවශ්‍ය දේකට වුනත් සත පහක් හෝ වියදම් කරන්න සූදානම් නෑ. එතකොට තවත් කොටසක් ඉන්නවා, කරන්නෙම ඉවක් බවක් නැතුව වියදම් කරන එක. සකසුරුවම් කමක් එහෙම ගෑවිලාවත් නෑ. ඇත්තටම මේක සල්ලි සම්බන්ධයෙන්ම නෙවෙයි, ජීවිතේ තියෙන ලොකු කුඩා පුරුදු හැම එකක්ම සම්බන්ධයෙන් වගේ කියන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදියට රැපින් පේපර් එකක් ගලවන විදියෙන් අපිට කියන්න පුළුවන් මනුස්සයා සකසුරුවම්ද කියලා. සුපර් මාකට් එකකට ගියහම ෂොපින් කරන විදියෙන් කියන්න පුළුවන් මනුස්සයා සකසුරුවම්ද කියලා. හැබැයි ස්මාට් මනුස්සයෙක් අර උඩින් කියපු අන්ත දෙකටම නෑ, ඉතාම සකසුරුවම්. ඒක ස්මාට් මනුස්සයෙක් වැඩ කරන විදියෙන් කැපිලා පේනවා.

 

7. තමන්ගේ යාලුවෝ ස්මාට් මිනිස්සුද?

යාලුවන්ගේ මිම්මෙන් තමන්ව මනින්න එපා කියලා කවුරුහරි කියලා තියෙනවද? ඇත්තටම යාලුවන්ගේ මිම්මෙන් තමන්ව මනින්න පුළුවන්. ස්මාට් මනුස්සයෙක්ට වැඩකට නැති යාලුවෝ නැහැ. ස්මාට් මනුස්සයෙක් ඕනම කෙනෙක් එක්ක ප්‍රියමනාපව, හිතවත්ව කටයුතු කළත්, තමන්ගේ සමීපතම යාලුවෝ විදියට ආශ්‍රය කරන්නේ තමන් වගේම ස්මාට්, තමන්ව පාවිච්චි නොකරන, තමන්ට අවංකවම හිතවත්කමෙන් යුතු යාලුවෝ. ඉතින් ස්මාට් මනුස්සයෙක් ආශ්‍රය කරන යාලුවෝ දිහා බැලුවහම අපිට ඒ මනුස්සයා ස්මාට්ද නැද්ද කියන එක ගැන අදහසක් ලබාගන්න පුළුවන්!

 

ඉතින් මේ වගේ අප්සෙට් ගතිගුණ නැති, ස්මාට් ගතිගුණ තියෙන ස්මාට් මනුස්සයෙක්ට, ස්මාට් කෙල්ලෙක් ආකර්ෂණය නොවී තියෙයිද??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *