ඔය සුද්දා මෝටිවේෂන් කියලා කියන්නේ යම් දෙයක් කරන්න තියෙන උනන්දුව, පෙළඹවීම, උද්යෝගය සහ ධෛර්යය කියන කාරණා එකතු වෙලා හැදෙන මෙව්වා එක ගැනනේ. ඉතින් මෝටිවේෂන් කියන එකත් හරියට වැස්ස වහිනවා, පායනවා වගේ තමයි. කාලෙකට තියෙන්න පුළුවන්, කාලෙකට නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය මෝටිවේෂන් කියන එක නැතිවුනහම අපිට වැඩ කරගන්න හරි අමාරුයි. කරන වැඩක ඵලදායිතාවය අඩුයි, කාර්යක්ෂමතාවය අඩුයි. කොටින්ම මෝටිවේෂන් එකක් නැති වුනහම අපි වැඩක් කරන්නේ කරන්න ඕන නිසා, නොකර ඉන්න බැරි කමට. ආන්න ඒ නිසා අපි සාමාන්‍යයෙන් උපරිම මෝටිවේෂන් එක නැති වුනත්, එදිනෙදා ජීවිතේදී පුළුවන් තරම් ප්රශස්ත උද්යෝගයකින්, පෙළඹවීමකින් ඉන්න එක වටිනවා. එහෙම ඉන්න නම්, ඔය මෝටිවේෂන් එකට කෙළවලා දන්න පුළුවන් දේවල් ගැනත් දැනගෙන ඉන්න ඕන. ආන්න ඒ දේවල් ගැන දැනුවත් කරන එක තමයි මේ කරන්න යන්නේ!
1. පැහැදිලි ඉලක්කයක් නැති වීම
මොකද්ද මේ පැහැදිලි ඉලක්කයක් කියන්නේ? අපි හැමෝටම පුංචි කාලේ හීනයක් තියෙනවා මට මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගගනගාමියෙක් වගේ. හැබැයි ඒවා පැහැදිලි ඉලක්ක නෙවෙයි. පොඩි කාලේ එහෙම හීන තිබ්බට කමක් නෑ. හැබැයි වැඩිහිටි කාලෙදිත් තමන්ට පැහැදිලි ඉලක්ක නැති නම් අන්න ඒක ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට ගත්තොත්, ඕලෙවල් කරන කෙනෙක් තමන්ට දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා හිතන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක හීනයක් මිසක් ඉලක්කයක් නෙවෙයි. එතකොට ඉලක්කය වෙන්න ඕන ඒලෙවල් බයෝ කරන්න පුළුවන් විදියට ඕලෙවල් හොඳට ගොඩදාන එක. අන්න ඒ ඉලක්කය සපුරගත්තට පස්සේ මෙඩිකල් ෆැකල්ටි යන්න පුළුවන් ලෙවල් එකට ඒලෙවල් ගොඩදාන ඉලක්කය තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ පැහැදිලි, ලඟ ඉලක්ක හැම කෙනෙක්ටම තියෙන්න ඕන.
2. ගෙයක්, වාහනයක්!
අද කාලේ වුනත්, එදා වුනත් පොදු සමාජය සමහර වෙලාවට පොදු මිනුම් දඬු තියාගෙන ඉන්නවා මිනිස්සුන්ගේ සාර්ථකත්වය මනින්න. සමහර වෙලාවට දැන් කාලේ නම් මනුස්සයෙක් කසාදයක් බැඳලා, තමන්ට කියලා ගෙයක් හදාගෙන, වාහනයක් තියාගෙන ඉන්නවා නම් තමයි සාර්ථකයි කියලා පොදු සමාජයේ සමහරු හිතන්නේ. හැබැයි ඇත්තටම සාර්ථකත්වය මනින්නේ එහෙමද? ඒ දේවල් අත්පත් කරගන්නේ නැතුව සාර්ථක වෙන්න ක්‍රම නැද්ද? ආන්න ඒ හිතිවිල්ල තමයි අපි අපේ හිතේ වෙනස් කරගන්න ඕන. මූලිකවම අපි සමාජේ අනික් අයට ඕන විදියට නටන්න යන්න ඕන නැහැනේ. තමන්ට තමන්ගේ ඉලක්කයක් තියෙනවා නම්, කසාද, වාහන, ගෙවල් වලට ප්‍රමුඛත්වය දෙන්න ගිහින් තමන්ගේ ඉලක්කය නැති කරගන්න ඕන නැහැ. එහෙම නැතුව තමන්ට මිනිස්සු කියන විදියට කසාදයක්, ගෙයක්, වාහනයක් නැහැනේ කියලා හිතුවොත් ඒකම ඇති තමන්ව අධෛර්යයට පත් වෙන්න!
3. තමන්ව අනිත් මිනිස්සුන් එක්ක සංසන්දනය කිරීම
දෙන්නෙක් ඉපදෙන්නේ එකම ඉස්පිරිතාලෙක වෙන්න පුළුවන්, එකම අවුරුද්දක -සමහර විට එකම මාසෙක- වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනාට දෙන්නෙක් කවදාවත් එකම විදියට ජීවිතේ ගෙනියන්නෙ නෑ. ඒ දෙන්නගේ ජීවිතේ දේවල් සිද්ධ වෙන කාලරේඛාවන් එකම වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා කවදාවත් තමන්ව අනික් අය එක්ක සංසන්දනය කරලා වැඩක් වෙන්නෙත් නෑ. අපි ගොඩක් වෙලාවට අනික් අයත් එක්ක අපිව සංසන්දනය කරන්නේ බොහොම භෞතික, සිල්ලර කාරණා වලින්. එහෙම බලලා අනික් අය අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා හිතනවා. අපිට එහෙම පේනවා. ඔන්න ඉතින් අපි අධෛර්යමත් වෙනවා. අපිට හිතෙන්නේ නෑ අපිට අපේ වේගෙන් අපේ ඉලක්ක වලට යන්නත් පුළුවන් කියලා. අනික් අයත් එක්ක රේස් දුවන්න ඕන නැහැයි කියලා!
4. වැටෙන්න බය වීම
මේක බොහොම සරල කාරණාවක්. අපි දෙයක් කරන්නේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. අපි මහන්සියෙන් වැඩ කරනවා. හැබැයි ඔන්න අපි හිතන විදියට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඔන්න අපේ මෝටිවේෂන් එක කුඩු වෙනවා. මොකටද අසාර්ථක වෙන්න මහන්සි වෙලා වැඩ කරන්නේ කියලා හිතනවා. තවත් මහන්සි වුනත් ඔච්චර තමයි නේද කියලා හිතෙනවා. ආන්න එහෙම වැටෙන්න බය මනුස්සයෙක්ට කවදාවත් දියුණු වෙන්න, ඉස්සරහට යන්න බෑ. ඇයි? ජීවිතේ හැටි සරලවම ඔහොම තමයි. සාර්ථක වෙන්න කලින් අසාර්ථක වීම් ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වැටි වැටී වුනත් නැගිටින්න ධෛර්යය තියෙන මනුස්සයෙක්ට තමයි ඉස්සරහටම යන්න පුළුවන්. ආන්න ඒ සරල ඇත්ත තේරුම් ගත්තොත්, වැටුනා කියලා අපේ මෝටිවේෂන් එක කුඩුපට්ටම් වෙන්නෙ නෑ! අසාර්ථක වුනා කියලා සාර්ථක වෙන්න යන ගමන නැවතෙන්නෙත් නෑ!!
5. තමන් වටේ දේවල් හොඳින් පවත්වා නොගැනීම
මේකත් ප්‍රායෝගික කාරණාවක්. අපිට කුණු ගොඩක ඉඳගෙන උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න බැහැ. ජීවිතේ අවුල් ගොඩවල් තියාගෙන අපේ ඉලක්ක වලට යන්න බැහැ. සරලවම කිවුවොත් අපේ මෝටිවේෂන් එක, වැඩ කරන්න, ඉස්සරහට යන්න තියෙන උද්යෝගය, ධෛර්යය, උනන්දුව තියාගන්න නම් බාහිර දේවල් බලපානවා. අපේ ශරීර සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය හොඳින් තියෙන්න ඕන, අපේ ඇඳුම් පැළඳුම් නිසි පිළිවෙලට තියෙන්න ඕන, අපි වැඩ කරන තැන ටිප් ටොප් එකට තියෙන්න ඕන. මේ දේවල් අපේ වැඩ කරන උනන්දුවට, උද්යෝගයට සෘජුව බලපාන්නේ කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් ඇත්තටම නම් අපේ උනන්දුව, උද්යෝගය උපරිමයෙන් පවතින්න නම් මේ දේවල් ප්රශස්ත මට්ටමෙන් තියෙන එකත් සෑහෙන්න බලපානවා.
6. ධනාත්මක අදහස් තමන් වටේ නැති වීම
ඇත්තටම මේක විකල්ප කාරණයක් කියන්නත් පුළුවන්. කලාතුරකින් සමහර මිනිස්සු ඉන්නවා මොන විදියට ලෝකේ පෙරළුනත්, ඒ මිනිසුන්ගේ අධිෂ්ඨානය, ධෛර්යය වෙනස් වෙන්නේ නෑ. හැබැයි සාමාන්‍යයෙන් ගත්තහම බහුතරයක් මිනිස්සුට එහෙම නෑ. මෝටිවේෂන් කියන එක වැස්ස වහිනවා, අවුව පායනවා වගේ තමයි. ආන්න එහෙම මිනිස්සු තමන්ට කියල සපෝට් සිස්ටම් එකක් තියාගන්න ඕන. ඒ කියන්නේ ධනාත්මකව හිතන මිනිස්සුන්ව, උද්යෝගයෙන් වැඩ කරන මිනිස්සුන්ව, ඉදිරියටම කඩාගෙන යන්න උත්සාහය, මෝටිවේෂන් එක තියෙන මිනිස්සුන්ව ඇසුරු කරන්න ඕන. එකක්, ඒ වගේ මිනිස්සුන්ගේ ධනාත්මක අදහස් අපිටත් ප්‍රේරණය වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ මිනිස්සුන්ගේ අදහස්, උපදෙස් වුනත් අපිට වටිනවා.
7. උද්යෝගය නැති කරන මිනිස්සු අවට තියාගෙන හිඳීම
අන්තිමට කියන්න තියෙන්නේ මේක. අපේ මෝටිවේෂන් එක නැති කරන්න පුළුවන් ප්‍රබලම කාරණයක් තමයි, අපේ වටේ ඉන්න මිනිස්සුන්ට මෝටිවේෂන් එකක් නැති වීම. ඒ නිසාම ඒ වගේ මිනිස්සු මෝටිවේෂන් එකක් තියෙන මිනිස්සුන්ටත් ඒක නැති කරන සෘණාත්මක බලපෑමක් සිද්ධ කරනවා. සමහර අරමුණක්, උද්යෝගයක්, පෙළඹවීමක් නැති අපේ වටේ ඉන්න අය දැන දැනම අපේ තියෙන මෝටිවේෂන් එකත් කඩන්න උත්සාහ කරනවා. ඒ නැතත් අසුබවාදී ආකල්ප තියෙන මිනිස්සුත් එක්ක ඉන්නකොට ඒ සෘණාත්මක, අසුබවාදී ආකල්ප අපේ හිතටත් නොදැනීම බලපෑම් කරනවා. ආන්න ඒ නිසා හොඳම යාලුවා වුනත් කරන්න දෙයක් නෑ. කිසිම මෝටිවේෂන් එකක් නැති, “ඕක කරන්න බෑ” කියාගත්තු ගමන් ඉන්න මිනිස්සුන්ව අතේ දුරින් තියාගන්න වෙනවා.
එහෙමනම්, මෝටිවේෂන් එක කුඩු කරන මේ දේවල් ඈත් කරමුද? මෝටිවේෂන් එක අප් කරන දේවල් ලං කරගමුද? ෆුල් මෝටිවේෂන් එකෙන් වැඩ කරමුද?
Leave a Reply