අපි පොඩි කාලේ බලපු වෙනස් සිංහල ටෙලිනාට්‍ය

අපිට හොඳම ටෙලි නාට්‍ය අත්දැකීම් ලබා දුන්නේ රජයේ රූපවාහිනී නාලිකා වුණු ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය කියන එක අවිවාදිත කරුණක්. කොයිතරම් ප්‍රාග්ධනය තිබ්බත් පෞද්ගලික රූපවාහිනී නාලිකා ලාංකික ප්‍රේක්ෂකයාගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට කිසිම දායකත්වයක් ලබා දුන්නේ නෑ කියන එක බොහෝ දෙනෙක් පිළිගන්නවා. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය පස්සෙ කාලෙකදි ඒ පෞද්ගලික නාලිකා ගිය සල්ලි හොයන මාර්ගයේ ගියත් තවමත් ඔවුන් විකාශනය කරන ටෙලිනාට්‍යවල යම් ප්‍රමිතියක් පවත්වාගෙන යනවා. අපි අද කතා කථා කරන්න යන්නේ ජාතික රූපවාහිනිය හරහා විකාශනය වුනු වෙනස් විදිහේ ටෙලිනාට්‍ය කීපයක් ගැන. සාමාන්‍ය ටෙලිනාට්‍යවලට පාදක වුණු පවුලේ කතා වලට එහා ගිය මාතෘකාවන් ගැන මේ ටෙලි නාට්‍ය හරහා කතාබහට ලක්වුණා.

 

1. රැජන

පිටසක්වල ජීවීන් පිළිබඳව බටහිර රටවල තොග ගණන් චිත්‍රපට නිෂ්පාදනය වෙද්දි ලංකාවේ ඒ ගැන කතා කරපු දුර්ල​භ ටෙලි නාට්‍ය නිර්මාණයක් විදිහට රැජන සලකන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කරපු මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ පබෝදා සන්දීපනී, රවීන්ද්‍ර රන්දෙනිය සහ යශෝධා විමලධර්මයි. ආලෝක වර්ෂ ගණනාවක් එපිටින් පිහිටි ග්‍රහලෝකයක පිරිසක් තමන්ගේ ඊළඟ පාලකවරිය පෘථිවියෙන් කැඳවා ගෙන එන්න​ට දරන වෑයම මෙම ටෙලි නාට්‍යයේ තේමාව වුණා.

 

2. මනෝකාය

මේ ආටිකල් එක කියවන බොහෝ දෙනෙක් පොඩි කාලේ  ‘මනෝකාය’ ටෙලි නාට්‍යය බලන්න බය වුණු අය කියලා කිව්වොත් වැරැද්දක් නැතිවෙයි. ග්‍රැන්විල් රොද්‍රිගෝ මහත්මයා සිදුකරපු රඟපෑම ඒ තරම් අපිට දැනුණා. මිනිසෙකුගේ මනෝකාය යන්ත්‍රයකට අවශෝෂණය කර ගැනීමට සිදු කරන විද්‍යාත්මක පර්​යේෂණයක් පිළිබඳව මේ ටෙලි නාට්‍යය තුළින් කතා බහ කළා. එම පර්යේෂණයේ සිදුවන වරදක් නිසා සිද්ධ වෙන්න ගිය විනාශයෙන් ඊළඟ මොහොතේ කුමක් වෙයිද යන බය ප්‍රේක්ෂකයාට ඇති කරන්න මේ ටෙලි නාට්‍යයේ තිර රචකයා සමත්වුණා.

 

3. ධවල කේතු 

ගොඩක් ටෙලිනාට්‍යවලට ප්‍රේම සම්බන්ධතා පාදක වුණත් ධවල කේතු ටෙලි නාට්‍යයට පාදක වුණේ අමුතුම විදිහේ ප්‍රේම ප්‍රේම කතාවක්. ජීවිතයේ මැදි විය ගත කරන සොහොන් පල්ලෙක් සහ දෙමළ තරුණියක් අතර ඇති වෙන මානුෂික සම්බන්ධය තුළින් මේ කතාව ගලා ගියා. සොහොන් පල්ලා ගේ චරිතය ඩබ්ලිව් ජයසිරි විසිනුත් තරුණියගේ චරිතය ඉන්දිකා උපමාලි විසිනුත් රඟපෑවා. ඉන්දිකාගේ ප්‍රථම ටෙලි නාට්‍යය රංගනය වූ මේ රඟපෑමට ඇය සම්මානයටත් පාත්‍ර වුණා.

 

4. දඬුබස්නාමානය 

අංගම් ශිල්පය ගැන අලුත් කතාබහක් ඇති කරන්න දඬුබස්නාමානය ටෙලිනාට්‍යය සමත් වුණා. කමල් අද්දරආරච්චි, දමිතා අබේරත්න, සේනක විජේසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානච්චි වගේ විශිෂ්ට රංගන ශිල්පී ශිල්පිනියන් මේ ටෙලි නාට්‍යය සඳහා තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රේමසිරි කේමදාස මහතා මෙම ටෙලි නාට්‍යය වෙනුවෙන් සපයපු සංගීතය අපේ  ටෙලි නාට්‍ය සංගීතයේ එක කේන්ද්‍රස්ථානයක්.

 

5. අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා 

මේ ටෙලිනාට්‍යයත් ලංකාවට වෙනස්  ටෙලි නාට්‍ය හඳුන්වලා දෙන්න පුරෝගාමියෙකු වූ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයක්. එතුමා මේ ටෙලි නාට්‍ය හරහා කුණ්ඩලීනී යෝගය අවදි කර ගැනීමෙන් කාලය හරහා ගමන් කිරීමේ හැකියාව ලබා ගත් අංගම් ශිල්පියෙකුගේ භව කීපයක ඉරණම ඉතාමත් විචිත්‍රවත් විදිහට ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවා. ජැක්සන් ඇන්තනි සහ සබීතා පෙරේරා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළා.

 

6. ඇල්ල ළඟ වලව්ව 

ධර්මසේන පතිරාජ මහත්මයාගේ නිර්මාණයක් වුණු ඇල්ල ළග වලව්ව ටෙලි නාට්‍ය, අපේ ටෙලි නාට්‍ය වංශ කතාවෙම සුවිශේෂී නිර්මාණයක්. සියවස් කීපයක ඉතිහාසයක් සහිත වලව්වක අවසාන උරුමකරු ලාදුරු රෝගය වැළඳීම නිසා තනිව ජීවත් වී දුක සේ මියයාම මේ කතාවට පාදක වුණා. නමුත් මේ හරහා ලංකාවේ වලව් පැලැන්තිය පරිහානියට පත් වීම සංකේතාත්මකව නිරූපණය වීම සිදු වුණා. ජැක්සන් ඇන්තනී, රවීන්ද්‍ර රන්දෙණිය, අචලා අලස්, අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, මංගලා කරුණාරත්න වගේ ක්ෂේත්රයේ විශිෂ්ඨයන් මෙම ටෙලි නාට්‍ය හා සම්බන්ධ වී තිබුණා.

 

7. දිය කැට පහණ

දිය කැට පහණ විකාශනය වුණේ 1996 වගේ. මේ ටෙලි නාට්‍යය අපිට ගෙනාවේ අසෝක හඳගම. දියකැටපහණ ටෙලිනාට්‍යයේ රාජු බණ්ඩාර, අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා වගේ නළු නිළියෝ රැසක් රඟපෑවා. ඒ කාලයේ “පොඩිත්තෝ” හැටියට හිටපු අපිට මේ ටෙලිනාට්‍යයේ ගැඹුර ඒ තරම් තේරු​ණේ නැහැ. ඒ වගේම විශේෂත්වයක් වුණේ මේ ටෙලි නාට්‍යයට අනුග්‍රහය දක්වපු තීන්ත සමාගම නාට්‍ය මැද්දේ වෙළඳ දැන්වීම් විකාශනය නොකර ටෙලි නාට්‍යය ආරම්භයේ දී ප්‍රේක්ෂකයාගේ රස වින්දනයට තමන් බාධා කරන්නේ කරන්නේ නැහැ කියන එක පවසමින් දැන්වීමක් විතරක් දාපු එක. ඒ නිසා මුළු පැය භාගය පුරාවටම ටෙලිනාට්‍යය රස විඳීමේ හැකියාව ප්‍රේක්ෂකයාට ලැබුණා. මේ ටෙලිනාට්‍යය ඒ දවස්වල බලලා තේරුම් ගන්න බැරිවුණු අය වෙනුවෙන් සුබ ආරංචියක් තියෙනවා, ඒ තමයි අශෝක හඳගම මේ සම්පූර්ණ ටෙලිනාට්‍යය යූටියුබ් ගත කරලා තියෙනවා කියන එක. මේ ටෙලිනාට්‍යයේ ටෙලි නාට්‍යයේ පළමු කොට​ස පහතින් නරඹන්න පුළුවන්.

 

 

මේ ලයිස්තුවට එන්​න ඕන තව ටෙලිනාට්‍යය තියෙනවා නම්, ඔබට ඒ ගැන කියන්න කමෙන්ට් සෙක්ෂන් එක විවෘත කරලා තියෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *