සමහර අය ෆේස්බුක් එකේ එහෙම සංවාදවලදී කියන දෙයක් තමයි අපි අපේ අතීතය ගැන ආඩම්බර වෙනවා මිසක් අනාගතය ගැන හෝ වර්තමානයට හරියන දෙයක් කරන්නේ නෑ කියන දේ. ඒ කතාව ඇත්ත. නමුත් ජාතියක හෝ රටක ඉතිහාසය කියන දේ ආඩම්බරයට කාරණාවක්. ඒ වගේම ඒ ඉතිහාසය නිවැරැදිව අධ්‍යයනය කිරීම මගින් අනාගතය සහ වර්තමානයේ ජාතිය හෝ රට ගමන් කරන මාර්ගය දිහා විචාරාත්මකව බැලීමේ හැකියාව ලැබෙනවා. ලංකාව ගත්තොත් අපි කවුරුත් දන්න විදිහට දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් හිමි රටක්. ඒ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සියයක්. නමුත් අනෙක් අලිඛිත ඉතිහාසය ගත්තොත් එහෙම ඒ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා.
අපි අද කතා කථා කරන්න යන්නේ, ඒ ඉතිහාසය අපිට පාදලා දෙන්න මැදිහත් වුණ යුග පුරුෂයෝ කීපදෙනෙක් ගැන.
1. එච්. සී. පී බෙල්
ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා විදිහට වැඩ බාර ගත්ත එච්. සී. පී බෙල් ගැන අපේ පරම්පරාව නම් අද බලන්නේ කෝපයකින්. නමුත් මේ කෝපයට පදනමක් නෑ කියන එක නම් කණගාටුවෙන් වුණත් කියන්න ඕන. මේකට හේතුව විදිහට ඔවුන් සඳහන් කරන්නේ බෙල් විසින් සීගිරියේ කැණීම් සිද්ධ කරද්දී පුරාවස්තු කොල්ලයක නිරත වුණා කියන එක සහ ඔහු අපේ ඉතිහාසය හිතාමතා වසා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වුණා කියලා කියන කතාව. නමුත් සීගිරිය කැණීම පිළිබඳව වාර්තා අධ්‍යයනය කරොත් බෙල් මැලේරියාවෙන් පවා පීඩා විඳිමින් සීගිරිය පාදා ගැනීමට විඳපු වෙහෙස ගැන වටහා ගන්නට පුළුවන්.
2. සෙනරත් පරණවිතාන
සෙනරත් පරණවිතාන පුරා විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් සහ සෙල් ලිපි ගවේෂකයෙක් විදිහට ලංකාවේ ඉතිහාසය පාදා ගන්න මැදිහත් වුණු විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. බලවත් දුෂ්කරතා මධ්‍යයේ සීගිරියට නැගලා කුරුටු ගී පිටපත් කරලා ලෝකයට ඉදිරිපත් කිරීමේ ගෞරවය එතුමාට හිමි වෙනවා. ඒ වගේම එතුමා අපේ ඉතිහාසය පිළිබඳව නව මානයක් විවර කළා. එතෙක් කල් වැරදියට හඳුනාගෙන තිබූ පුරාවිද්‍යාත්මක ස්මාරක නිවැරදි ලෙස නම් කරන්න එතුමා තමන්ගේ විශිෂ්ට තාර්කික බුද්ධිය සහ දැනුම භාවිතා කළා. නමුත් අවසාන කාලයේ දී නම් එතුමා යම් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශ පවා සිදු කළා.
එතුමාගේ ආන්දෝලනාත්මක අදහස් දැක්වීම ගැන Lifie අපි මීට පෙර සටහනක් තැබුවා. ඒ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න.
“මුගලන් රජු ක්‍රිස්තුභක්තිකයෙක්ද” ඇතුළු පරණවිතාන මහතාගේ අමුතු කතා
3. චාල්ස් ගොඩකුඹුර
දැදිගම කොටවෙහෙර කැණීමෙන් හමු වුණ ඇත් පහන පැරණි ලංකාවේ පැවති උසස් තාක්ෂණය පිළිබඳව අපිට කියා දෙන විශිෂ්ටතම නිර්මාණයක්. මේ නිර්මාණය ජාතියට පාදා දෙන්න මැදිහත් වුණු විශිෂ්ටතමයා වෙන්නේ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතායි. සෙනරත් පරණවිතාන මහතාගේ සමීපතමයෙකු ඔහු පරණවිතාන සමගින් මෙන්ම පරණවිතාන මහතාගේ අභාවයෙන් පසුව තනියමත් ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේෂණය කෙරෙහි විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒ වගේ ම එතුමා භාෂා විශාරදයෙක්. මේතාක් ලංකාවේ සොයා ගැනීමට නොතිබූ පොත පත විදේශ රටවලින් ගෙනැවිත් පළ කිරීමට එතුමා කටයුතු කළා. කිරල සන්දේශය ඒ වැනි කෘතියක්. එතුමා ඒ ආකාරයෙන් පළ කළ කෘතීන් අතරින් විශිෂ්ටතම කෘතිය වන්නේ ආචාර්ය සෙනරත් පරණවිතාන සමග එක් වී ඉන්දියාවේ පුස්තකාලයකින් ජානකීහරණ මුල් පිටපත සොයාගෙන සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීමයි.
4. ශරත් වත්තල
1960 දී පමණ සීගිරි චිත්‍ර වල බදාම දුර්වල වෙලා සීගිරි චිත්‍ර තවදුරටත් ආරක්ෂිතද යන්න පිළිබඳව ගැටළුවක් ඇති වුණා. මීට පෙර එවැනි තත්ත්වයක් ඇති වූ විට පිළියම් යෙදූ විදේශ විශේෂඥයෙක් යටතේ පුරුදු පුහුණු වූ ශරත් වත්තල මහතා එම බදාම පිළිසකර කිරීමට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව එතුමා විවිධ පුරාවිද්‍යාත්මක කැණීම් අධීක්ෂණයටද මැදිහත් වී තිබෙනවා. උදාහරණයක් විදිහට පැරණි උරුවෙල නුවර සහ විහාර සංකීර්ණය පාදාගැනීමට සෙනරත් පරණවිතාන මහතා ආරම්භ කළ කැණීම් ඉදිරියට ගෙන ගොස් ඇත්තේ සරත් වත්තල මහතා විසින්. ඒ වගේම එතුමා පුරාවිද්‍යා අධ්‍යයනය පිළිබඳව විවිධ පොතපත රචනා කොට තිබෙනවා.
5. කඹුරුපිටියේ වනරතන හිමි
කඹුරුපිටියේ වනරතන නායක හාමුදුරුවෝ දකුණු පළාතේ ඉතිහාසය පාදා දෙන්න වෙහෙස මහන්සි වෙච්ච ඉතිහාසඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. උන් වහන්සේ මාතර මානව වංශය, ලංකාවේ බුදු පිළිමය වගේ මාතෘකා ගණනාවකින් පොත්පත් රාශියක් රචනා කරලා තියෙනවා.
පුරාවිද්‍යාවට උන්වහන්සේගේ විශිෂ්ටතම දායකත්වය විදිහට සලකන්න පුළුවන් දේ තමයි පනාකඩුව තඹ සන්නස ගැන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා දැනුවත් කිරීමට ක්‍රියා කිරීම. මුල් අවස්ථාවේ දී සෙනරත් පරණවිතාන මහතා පනාකඩුව තඹ සන්නස පිළිබඳව සොයා බැලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව තමයි නිශ්ශංකමල්ල රජතුමා තමන්ගේ සෙල්ලිපි වල තඹ සන්නස් නිකුත් කිරීම ලංකාවේ ආරම්භ කළේ තමන් කියලා ප්‍රකාශ කරලා තිබීම. මේ නිසා සෙනරත් පරණවිතාන මහතා හිතලා තියෙන්නේ විජයබාහු රජතුමාගේ කාලයේ නිකුත් වුණා කියන මේ තඹ සන්න්ස කාගේ හරි පසුකාලීන නිර්මාණයක් කියලා. නමුත් කඹුරුපිටියේ වනරතන හාමුදුරුවන්ගේ සහ අපි කලින් සදහන් කරපු ශරත් වත්තල මහතාගේ දැඩි ඉල්ලීම මත පනාකඩුව තඹ සන්නස පිළිබඳව සොයා බැලීමට එතුමා එකඟ වෙලා තියෙනවා.
6. ශ්‍රීමතී ලෝනා දේවරාජා
කන්ද උඩරට ඉතිහාසය ගැන කතා කරද්දි වගේම ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය ගැන කතා කරද්දි ශ්‍රී ලෝනා දේවරාජා කියන නම නිසැකයෙන්ම කියවෙනවා. ඒ ඇය විසින් උඩරට රාජධානිය කියලා රචනා කරපු පොත සහ The Muslims of Sri Lanka – One thousand years of ethnic harmony- 900 to 1915 කියන පොත නිසා. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු ගැන ලියපු පොත පිළිබඳව යම්කිසි විවේචනයක් ශාස්ත්‍රීය ලෝකය තුළ පවතිනවා. නමුත් ඉතිහාස ක්ෂේත්‍රයට දායකත්වය ලබා දීපු අතළොස්සක් වූ කාන්තාවන් අතරින් අතරින් විශිෂ්ටතම කාන්තාව ඇය කියන දේ නම් අවිවාදිතයි.
7. මැන්දිස් රෝහණදීර
මැන්දිස් රෝහණදීර මහත්මයා අපේ පරම්පරාවේ ආදර ගෞරවයට ලක් වුණු විශිෂ්ටතම ඉතිහාසඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ එතුමා මහා සිංහලේ වංශ කතාව රූපවාහිනී වැඩසටහනට සහභාගි වී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඉතාමත් රසවත් හා සරලව කරපු ඉදිරිපත් කිරීම් නිසා.
අස්ගිරි තල්පත නම් අති දුර්ලභ කෘතියක් ඇසුරෙන් එතුමා ලංකාවේ ඉතිහාසය, විශේෂයෙන් ම කෝට්ටේ යුගයේ අවසානයේ පටන් කන්ද උඩරට රාජධානිය ඇති වීම දක්වා ඇති අර්බුදකාරී සහ අපැහැදිලි යුගය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ඇඳීමට සමත් වුණා. හය වැනි පරාක්‍රමබාහු රජ සමයේ දී උඩරට රාජධානිය ස්වාධීනව පැවැති බවත්, ඔහුට ලංකාව එක්සේසත් කිරීමට නොහැකි වූ බවටත් එතුමා පළකළ නව අදහස් නම් ආන්දෝලනාත්මක වුණා.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් උදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply