සමාජ රෝග කියන දේ එදාට වඩා අද සමාජය තුළ දක්නට ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීම් සිදු කිරීමයි. කොයි තරම් මේ පිළිබඳව දැනුවත් කළත්, ඇතැම් අවස්ථාවල උපත් පාලන කොපු ආදිය නොමිලේ බෙදා දීම සිදු කරත් ඒ කිසිවක් ගැන නොතකමින් ඇතැම් අය අනාරක්ෂිතව ලිංගිකව එක් වෙනවා. ඇතැම් අවස්ථාවල නම් ඒ පිළිබඳව නොදැනුවත්කමත් ඊට එක් හේතුවක්. මේ නිසා අපි හිතුවා ඔබට STD Check up එකකට බය නැතුව යන්න පුළුවන් තැනක් හඳුන්වලා දෙන්න.
1. මේ තැන මොකක්ද? මොනවද වෙන්නේ ?
මෙතැන හඳුන්වන්නේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කියලා. මේ ආයතනයේ මූලස්ථානය අංක 29 ද සේරම් පෙදෙස කොළඹ 10 යන ලිපිනයෙහි පිහිටා තිබෙනවා. මඟ සළකුණක් කිව්වොත් කොළඹ ජාතික රෝහල ආසන්නයේ තමයි මේ ආයතනය පිහිටලා තියෙන්නේ. නමුත් මේ ආයතනයට අනුබද්ධ පූර්ණ කාලීන සායන 31ක් සහ ශාඛා සහායට 23ක් ලංකාව පුරාවටම පිහිටලා තියෙනවා. ඒ නිසා මේ සේවාවන් ලබා ගැනීමට ඔබට කොළඹ ඒම අත්‍යවශ්‍ය වන්නේ නෑ
ඒ ගැන වැඩි දුර තොරතුරු මේ ආයතනයේ වෙබ් පිටුව වන aidscontrol.gov.lk හරහා ලබා ගන්න පුළුවන්.
2. මේ ආයතනය මගින් සපයන සේවා
මෙම ආයතනය හරහා සිදුකරනු ලබන සේවා කොටස් දෙකකට බෙදෙනවා. ඒ සායන සේවා සහ නිවාරණ සේවා වශයෙන්. සායන සේවා මගින් ඔබට ලිංගාශ්‍රිත රෝග පරික්ෂා සිදුකර ගැනීම වගේම යම් හෙයකින් ඔබ ආසාදිතයෙක් නම් අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීම සිදු කරනවා. ලිංගාශ්‍රිත රෝග වැළඳුණු ගැබිනි මව්වරුන් සඳහා විශේෂ උපදේශන වැඩසටහනක් මේ ආයතනය හරහා ක්‍රියාත්මක වෙනවා.
නිවාරණ සේවා මගින් සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයන් පුරුදු පුහුණු කරවීම, රාජ්‍ය නොවන ආයතන හරහා ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම වගේ ම උපත් පාලන කොපු බෙදා හැරීම සිදු කෙරෙනවා.
3. රහස්‍යභාවය
දිවයිනේ පිළිගත් ඉහළම වෛද්‍ය වෘත්තිකයන් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර තම සේවාදායකයන්ගේ රහස්‍යභාවය සුරැකීමට ඔවුන් කටයුතු කරනවා. මේ නිසා මෙම ආයතනයෙන් අදාළ සේවා ලබා ගැනීමට ඔබ කිසිසේත් පැකිළිය යුතු නැහැ. නිසි පරිදි සායන සඳහා සහභාගි වීමෙන් ඔබට සුව කළ හැකි ලිංගාශ්‍රිත රෝග සුවකර ගැනීමටත් අනෙකුත් ලිංගාශ්‍රිත රෝග පාලනය කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.
4. ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි අධි අවදානම් කණ්ඩායම්
මෙම වැඩ සටහන මගින් ලිංගාශ්‍රිත රෝගවලට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති පිරිස් කීපයක් හඳුන්වා දී තිබෙනවා.
- ලිංගික ශ්‍රමිකයන්
- සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්
- වෙරළේ සැරිසරන පිරිමි (Beach Boys)
- සිරකරුවන්
- මත් ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්
ඔබත් මෙවැනි කණ්ඩායමකට අයත් පුද්ගලයෙකු නම් දැනට ඔබ කෙරෙන් රෝග ලක්ෂණයක් විද්‍යමාන නොවුණත් ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණයක් සිදු කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඊට හේතුව වන්නේ බොහෝ ලිංගික රෝගවල රෝග ලක්ෂණ මතු වීමට යම් කාලයක් ගත වන නිසා. මූලික අවස්ථාවේදීම ලිංගාශ්‍රිත රෝගයක් හඳුනා ගැනීම වගේ එය පාලනය කර ගැනීමට ඔබට සුවිශාල ඉඩකඩක් ලැබෙනවා.
5. ලංකාවේ බහුලවම දක්නට ලැබෙන ලිංගාශ්‍රිත රෝග
ලිංගික හර්පීස් සහ ලිංගික ඉන්නන් යන රෝග තත්ත්ව ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන ලිංගාශ්‍රිත රෝගයන් වනවා. පෙරට සාපේක්ෂව සිපිලිස් සහ ගොනෝරියා රෝගීන් ලංකාව තුළ අඩුවීමක් දක්නට ලැබෙනවා. එච්. අයි. වී ආසාදිතයන් 0.01% පමණ මෙරට වාසය කරන බව සංඛ්‍යා ලේඛන වලින් පැවසෙන නමුත් ලෝකයට සාපේක්ෂව ලංකාවේ එම අගය ඉතාමත් පහළ අගයක්. නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම මගින් එච්. අයි. වී අසාදිතයින් ඒඩ්ස් තත්ත්වයට යෑමෙන් වළක්වා ගැනීමට පුළුවන්.
6. ලිංගික අධ්‍යාපනය
ලංකාව තුළ තවමත් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමක් සිදු වන්නේ නැහැ. මෙය පාසල් ශිෂ්‍යයන්ට වගේම වැඩිහිටියන්ටත් පොදු වූ තත්ත්වයක්. බොහෝ වැඩිහිටියන් හට ලිංගික ආරක්ෂාව පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බව සමීක්ෂණ මගින් ද හෙළි වී තිබෙනවා. මේ නිසා නිසා ක්‍රමවත්ව අදාළ ක්ෂේත්රය පිළිබඳව නිසි දැනුමක් ඇති පුද්ගලයන් හරහා අදාළ දැනුම ලබාගැනීම ඉතා වැදගත් වෙනවා. අන්තර්ජාලය තුළ ඉංග්‍රීසි බසින් මෙවැනි වැඩසටහන් දක්නට ලැබුණත් සිංහලෙන් නිසි පරිදි වැඩසටහන් නොමැතිවීම දැඩි අඩු පාඩුවක්.
7. ඔබේ වගකීම
ඔබ එක් අයෙකුට සීමා නොවී කීප දෙනෙක් සමඟ ලිංගික සම්බන්ධතා වල යෙදෙනවා නම් සැමවිටම ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්න. එසේම එසේ කිරීමට ඔබේ සහකාරයන් ද උනන්දු කරවන්න. තමන්ට හැකි මට්ටමින් ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීම පිළිබඳව සහ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පිළිබඳ ව හැකිතාක් පිරිස දැනුවත් කරන්න. ඒ මගින් සුළුවෙන් හෝ ඔබට තවත් අයෙකුගේ ජීවිතය සුබවාදී කිරීමට හැකි වනු ඇත.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස පළ කරන ගමන් මේ ආටිකල් එක අනිවාර්යෙන්ම ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply