තේ වෙලාවට බනිස් වර්ගයක් කන්න තියනවනම් නියමයි නේද… කැමති තාලෙට කැමති රසෙන් කැමති හැඩයෙ බනිස් හදාගන්න ගෙදරම පුංචි බේකරියක් කරගන්න පුළුවන් බනිස් රෙසිපි ටිකක් තමයි අද අපි ගෙනාවෙ.
1. මාළු බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 15
- ලුණු පින්ච් එකක්
- බිත්තර 1
- යීස්ට් ග්‍රෑම් 6
- කිරිපිටි මේස හැඳි 2
- ලා රස්නෙ වතුර මිලිලීටර් 100
- බටර් මේස හැඳි 2
ෆිලින්ග් එක සඳහා
- තම්බාගත් අල ගෙඩි 2
- සැමන් පොඩි ටින් එක්කක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු
- ලුණු
- චොප් කරගත් අමුමිරිස්
- මුලින්ම බන් එක අනාගමු. පිටි, සීනි, යීස්ට්, ලුණු සහ කිරිපිටි එකට එකතු කරගන්න. දැන් මේකට බටර් ටික දාලා අනන ගමන් බිත්තරය එකතු කරන්න. ටික ටික වතුර එක් කරගෙන හොඳට අනාගන්න. පිටි මෝලිය විනාඩි 15ක් විතර හොඳටම අනාගන්න ඕනෙ. අත්ලෙන් තෙරපමින් සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- දැන් මේක බටර් ගාපු බෝල් එකක දාල තෙත මිරිකපු රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණ වෙනකම් පැයක් විතර පිපෙන්න තියන්න.
- පැයකට පස්සෙ ඩෝ එක අරගෙන තෙරපල හුළන් ගතිය යවල, පොඩි බෝල වලට කඩලා පැය බාගයක් වහල තියන්න.
- ඩෝ එක පිපෙන්න තියන පැයේ ෆිලින්ග් එක හදාගමු. මුලින්ම පෑන් එකක් ලිප තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න. ටිකකින් ළූණු ටිකත් දාගන්න. දැන් සැමන් ටික කටු අයින් කරල පොඩි කරලා එකතු කරන්න. අමුමිරිස් හා තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. ලිපෙන් බාන්න කිට්ටුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- දැන් ඩෝ එකෙන් කඩාගත්තු බෝල එක ගාණෙ අරන් රවුමට හොඳට තුනී කරලා මැදට ෆිලින්ග් එක තියාගෙන තුන් හුලස් ආකාරයට නවාගන්න. හදාගත්ත මාළු බනිස් බටර් ගාගත්ත ට්‍රේ එකක අඟල් දෙකක පරතරෙන් තියල, තව විනාඩි 15ක් පිපෙන්න තියල උඩින් එග්වොශ් කරල 180°C ට විනාඩි 25ක් වගේ බේක් කරගන්න.
2. සීනි බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- යීස්ට් තේ හැඳි 4
- බටර් මේස හැඳි 3
- කිරිකෝප්ප කාලක්
- ලුණු
- සීනි මේස හැඳි 4
- කිරිපිටි මේස හැඳි 2
- උණුවෙන් හදාගත් කිරි වලට සීනි ටික දියකරගන්න. ඒක ටිකක් නිවිලා ලා රස්නෙ තියෙද්දි ඒකටම යීස්ට් ටිකත් දාලා පිපෙන්න දෙන්න.
- පාන්පිටි, කිරිපිටි හා ලුණු එකට කලවම් කරලා ඒකට කිරි ටික ටික දාලා ඩෝ එක අනාගන්න බටර් එකතු කරලා අනන්න.
- ඇලෙන ගතියට තමයි ඩෝ එක එන්න ඕනේ. දැන් මේක බෝල් එකකට දාලා පැයක් වගේ තියන්න.
- පිපුණට පස්සෙ අතින් තද කරලා හුලං යන්න ආයෙ ටිකක් පොඩි කරන්න.
- දැන් පොඩි පොඩි බෝල හදලා බටර් ගාගත් ට්‍රේ එකක් උඩ තියලා පිපෙන්න තියන්න. මේ බෝල වලට උඩින් කිරි ගාලා සීනී ඉහලා 180°C ට විනාඩි 20ක් බේක් කරගන්න.
3. කිඹුලා බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 300
- බිත්තර 1
- යීස්ට් ග්‍රෑම් 5
- සීනි ග්‍රෑම් 50
- බටර් මේස හැඳි 2
- ලුණු
- රස්නෙන් වතුර ටිකක්
- උණු වතුර වලට යීස්ට් හා සීනි තේ හැඳි 2ක් දාලා දියකරගන්න.
- ඉතිරි ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න. මේකට බිත්තර හා බටර් ටිකත් දාගන්න. දැන් ඊස්ට් මිශ්‍රණය ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න. හොඳට සොෆ්ට් වෙන්න අනාගන්න පැය කාලක් වගේ.
- දැන් මේක වෙනම බෝල් එකක තෙත මිරිකපු රෙදි කෑල්ලකින් වහලා පැයක් පිපෙන්න තියන්න. අතින් තද කරලා වාතය අයින් කරලා ඩෝ එක දෙකට කපන්න. දැන් මේ දෙක වෙන වෙනම අරන් තුනී කරලා කොටු හැඩය කපාගන්න. කපාගත්ත කොටු ත්‍රිකෝණාකාර හැඩේට දෙකට කපාගන්න.
- ත්‍රිකෝණයේ මහත පාදයේ ඉඳන් උල් පැත්තට එනකම් පරිස්සමෙන් රෝල් කරගෙන කිඹුලා බනිස් හැඩය හදාගන්න.
- බටර් ගාපු තැටියක විනාඩි 15ක් පිපෙන්න තියපු බනිස් වල දියකරගත් බටර් හෝ කිරි ගාලා සීනි ඉහලා බේක් කරගන්න. සෙල්සියස් 180°C ට විනාඩි 20ක් වගේ ඇති.
4. ජෑම් බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- බටර් මේස හැඳි 4
- සීනි මේස හැඳි 2
- ලුණු
- යීස්ට් තේ හැඳි 2
- මද රස්නෙ වතුර
- ජෑම්
- පිටි හා ලුණු කලවම් කරගන්න. සීනි හා ඊස්ට් වෙනම රස්නෙ වතුරෙන් කලවම් කර පිපෙන්න තියන්න. පිපුණු යීස්ට් ටික පිටි මිශ්‍රණයට දාගන්න. ලා රස්නෙ වතුර ටික ටික එකතු කරමින් සොෆ්ට් ඩෝ එකක අනාගන්න ඕනෙ.
- දැන් මේක තෙත මිරිකපු රෙද්දකින් එකකින් වහලා පැයක් පිපෙන්න තියන්න.
- ඊට පස්සෙ ඒ පිටි මෝලිය තද කරල හුළං ගතිය යවල පොඩි බෝල හදාගන්න. මේ පොඩි බෝල රෝලින් පින් එකෙන් පොඩ්ඩක් තුනී කරලා මැදට ජෑම් ටිකක් හරහට තියලා පැටිස් හදනවා වගේ වහගන්න.
- කට වටේ වාටිය අතින් නවලා ගෑරුප්පුවකින් තද කරගන්න වටේම ජෑම් එළියට නොඑන්න.
- බටර් ගාගත් ට්‍රේ එකක බනිස් ටික තියලා කිරි උඩින් ගාලා සීනි හොඳට ඉහගන්න. 180°Cට රත් කරපු අවන් එකේ විනාඩි 30ක් වගේ බේක් කරගන්න.
5. බර්ගර් බනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- යීස්ට් තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- බටර් මේස හැඳි 2
- ලුණු
- ලා රස්නෙ වතුර ටිකක්
- කිරි ටිකක්
- යීස්ට්, සීනි ලා රස්නෙ වතුර දාලා පිපෙන්න තියන්න. පාන්පිටි වලට ලුණු කලවම් කරලා යීස්ට් ටික දගන්න.
- මේකට කිරි දාලා ඩෝ එක අනාගන්න. කිරි මදි නම් වතුර ටිකක් දාගන්න. බටර් ටිකත් දාගෙන හොඳ සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- මේකට විනාඩි 20ක්වත් හොඳට අනාගන්න ඕන. මේ ඩෝ එක බටර් ගාගත් බෝල් එකකට දාලා තෙත මිරිකපු රෙද්දකින් වහලා පැයක් පිපෙන්න තියන්න.
- ආයෙ හොඳට වාතය යන්න ටිකක් අනාගන්න. නැවත පැය බාගයක් පිපෙන්න තියල හුළං ගතිය යන්න නැවත අනාගන්න.
- දැන් මේක පොඩි බෝල වලට කඩල, බර්ගර් බන් හැඩේට රවුම් කරල බටර් ගාපු තැටියක දාල තව විනාඩි 15ක් පිපෙන්න තියාගන්න.
- සෙල්සියස් 180°Cට විනාඩි 15ක් බේක් කරගන්න.එළියට අරන් එග් වොශ් කරල තල ඇට ටිකක් ඉහගෙන තව විනාඩි 10ක් බේක් කරගන්න. එග්වොශ් කරන එක සහ තල ඇට ඉහින එක ඉක්මණින්ම කරගන්න ඕන.
- බේක් වෙලා නිවුණට පස්සෙ බන් එක මැද්දෙන් කපලා, බේකන් පෙත්තක්, ළූණුපෙත්තක්, සලාදකොළ, මස්ටර්ඩ් සෝස්, මයෝනිස් මේ ඕනම දෙයක් මැදට තියලා බර්ගර් එක හදාගන්න පුළුවන්.
Leave a Reply