මේක දරු පැටව් ඉන්න අම්මල තාත්තලට වැදගත් කතාවක්. හැබැයි තමන්ගෙම දරුවෝ නැහැ කියල ප්‍රශ්නයක් නැහැ. සහෝදර සහෝදරියන්ගෙ දරුවොන්ට නැන්දලා, බාප්පලා උනාමත් එයාලා එක්ක සෙල්ලම් කරන්න වෙනවනෙ. ඒ නිසා කොයි කාටත් වැදගත්. හැබැයි අදකාලේ හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ළමයින්ව ඩිජිටල් තිරයට හුරු කරලා ඒකෙ පහසුව අත්විඳින්න. මේක පහසු උනාට එච්චර හොඳ කාරණාවක්නම් නෙමෙයි. මේ ඩිජිටල් තිරය දරුවන්ගේ මොලේ වර්ධනයත් එක්ක සෘජුවම නෑකම් කියනව. ඒ නිසාම අපි හිතුව පොඩි පැටවුන්ව මේ digital screen එකෙන් ඈත් කරලා එයාලගෙ අම්මලා තාත්තලාට, නැන්දලා පුංචිලාට එයාලත් එක්ක කරන්න පුළුවන්, පුංචි දරුවන්ට අසීමිත සතුටක් ගේන පොඩි පොඩි ක්‍රියාකාරකම් කීපයක් ගැන කතා කරන්න. මේ දේවල් එක්ක ඔයාලගේ හිතත් අතීතයට දුවන්න පුළුවන්.
1. සෙල්ලම් ගෙදරක්
කිව්ව ගමන් මතක් උනේ අපේ පුංචි කාලෙ නේද? දැන් පොඩ්ඩොන්ට අහිමිවෙන ලස්සන දේවල් මේවා තමයි. ඒ නිසා අපි උත්සහ කරමු එයාලව ඒ දේවල් වලට ළං කරන්න. සෙල්ලම් ගෙවල් කිව්වෙ දැන් ඔය කඩවල් වල ගන්න තියෙන ප්ලාස්ටික් ටෙන්ට් කෑලිනම් නෙමෙයි ඉතින්. ඉස්සර අම්මල තාත්තල අපිට හදල දීපු කෝටු හිටවලා, සාරි වට කරලා, වහලට පොල් අතු, කොළ ජාති හෙවිල්ලලා හදන ජාතියේ ලස්සන සෙල්ලම් ගෙවල්. මතකද ඒ ගෙවල් ඇතුලේ අපි විඳපු සතුට? ඒ දේවල්ම හොයාගන්න නැතත් අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් වලින් මේ වගේ සෙල්ලම් ගෙයක් හදල දුන්නම පුංචි පැටවුන්ට කොච්චර සතුටක් හිතේවිද? සාරි කෑලි, සරම් කෑලි පටලෝගෙන සෙල්ලම් බත් උයන ලස්සන දිහා බලල අපිටත් සතුටු වෙන්න පුළුවන්.
2. මිදුලේ පුංචි පොකුණක්
මතකද ඉස්සර අපි පුංචි කාලේ මිදුලේ පුංචි වලක් හාරලා, ඒකට ඉටිකොළ එලලා, වතුර පුරවලා, වටේට ගස් හිටවලා හදපු පුංචි පොකුණු? මාළුත් ඇතිකළා ඒවගෙ :D ඒ වගේ පුංචි වැඩක් බබාලත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන්. මඩ, වතුර නාගෙන විඳින සතුට පොඩි අයටත් ලැබෙන්න ඕන. හැබැයි ලෙඩ නොවෙන්න පරිස්සමට වැඩේ කරන්නත් ඕන. ඒක ඉතින් ඇති එයාලට දවස් ගාණක් තිස්සේ බල බල සතුටු වෙන්න.
3. කතන්දර හවසක්
ඔන්න එක පවුලකම හරි, අවට ඥාති සහෝදර සහෝදරියෝ හරි කීපදෙනෙක් ඉන්න තැනකට මේක නියම වැඩක්. පොඩ්ඩො ටික වටකරගෙන ලස්සන කතන්දර කියල දෙන්න පුළුවන්. එයාලගෙන් ප්‍රශ්න අහන්න, දිනන කෙනා තෝරන්න පුළුවන්. කතන්දර වල චරිත වගේ ඇඳගෙන ඇවිල්ලා රඟපාන්න කියන්න පුළුවන්. සතුටු සාගරයක් වෙයි ඉතින් මුළු හවසම.
4. මැටි වැඩ
මැටි වැඩනම් ඉතින් පොඩි දරුවොයි අපියි කියල වෙනසක් නැහැ. හැමදාම කරනවනේ කොච්චර මට්ටු උනත්. නේද? නෑ නෑ… මේ කියන්නේ ඒ මෝඩ වැඩ ගැන නෙමෙයි. මැටි වලින් කරන අත්කම් නිර්මාණ ගැන. ඉස්සරනම් ඉස්කෝල වලට කොච්චර මේ මැටි නිර්මාණ හදාගෙන එන්න කිව්වද? ඒත් දැන් හුඟක් ජාත්‍යන්තර පාසල් වල එහෙම මේ දේවල් අහන්නවත් නැහැ. ඒත් ළමයින්ට ලොකු සතුටක් දෙන්න පුළුවන්, ඒ වගේම එයාලගෙ නිර්මාණ හැකියාව වර්ධනය කරන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකමක් මේක. ඉස්සර ඉතින් අපිටනම් වත්ත පහලට ගිහින් ඕන තරම් මැටි ගොඩවල් අහුලගෙන එන්න පුළුවන්. එත් දැන් පැටවුන්ටනම් එහෙම නැහැ. එත් කඩෙන් ගන්න මැටි වලින් හරි ලස්සන ලස්සන නිර්මාණ ටිකක් එයාල එක්කම එකතුවෙලා හදලා, ඒවා වේලෙන්න තියලා, ලස්සනට පාට කරලා ගත්තම කොච්චර සතුටු හිතේවිද එයාලට.
5. ඔන්චිල්ලාවක්
ඉස්සර අපිටනම් අවුරුදු කාලේ වෙද්දී නොවැරදීම ලැබෙන සතුටක් මේක. අවුරුද්ද ළංවෙනකන් බලන් ඉන්නේ ඔන්චිල්ලාවක් බන්දගෙන ඒකෙම එල්ලිලා ඉන්න. මතකද ඒකෙ උඩ පල්ලෙහා යනකොට දැනුන සතුට? අනේ ඇයි ඉතින් දැන් කාලෙ පොඩ්ඩොන්ට අපි ඒ සතුට අහිමි කරන්නෙ? වත්තේ සුදුසු තැනක් බලලා පරිස්සමට පදින්න පුළුවන් ඔන්චිල්ලාවක් හයි කරලා දුන්නොත් දවසේ වැඩි හරියක් එතනම තමයි ඉතින් පුංචි පැටව්. මතකනේ අපි ඉස්සර?
6. සංගීත භාණ්ඩයක්
සංගීත භාණ්ඩ කියන්නේ හැමෝම වාදනය කරන්න දන්න දේවල්නම් නෙමෙයි. එහෙම වාදනය කරන්න දන්න අම්මෙකුට තාත්තෙකුට පුළුවන් හවසට පොඩි වෙලාවක් අරගෙන දරුවන්ට ඒ දැනුම බෙදල දෙන්න. TV එකක් ඉස්සරහ ඉඳගෙන කාලය කනවට වඩා දරුවටත් වැඩක් ඇති වැඩක් මේක. එහෙම දැනුමක් නැති දෙමව්පියන්ට උනත් දරුවන්ට සංගීත භාණ්ඩයක් අරගෙන දීලා පන්තියකට යොමු කරන්න පුළුවන්නෙ එයාලව. නිදහස් වෙලාවේ කරන්න ප්‍රයෝජනවත් වැඩක් හම්බවෙනව එයාලට එතකොට. ලොකු වෙද්දී අමතර කුසලතාවයකුත් හදාගෙන නොදැනීම.
7. පුංචි picnic එකක්
Picnic එකක් කියන්නේ මහා දුරක යන ගමනක් නම් නෙමෙයි. එහෙම ලොකූ ගමනුත් දරුවෝ එක්ක යන්න පුළුවන්. මේ ලස්සන ලංකාවේ නොදුටු තැන් දරුවන්ට පෙන්නන්න එක්කගෙන යන එකත් වටිනා වැඩක්. හැබැයි එහෙම ලොකු ගමන් නොයා උනත් වෙනස් සතුටක් ළමයින්ට දෙන්න පුළුවන්. ගෙදර ඉන්න දවසක හවසට බිස්කට්, කට්ලට්, සැන්විච් වගේ පොඩ් පොඩි කෑම ටිකකුත් ලෑස්ති කරගෙන, බෝලයක්, බැට් එකක්, බැඩ්මින්ටන් කිට් එකක් වගේ අරගෙන එක්කෝ තමන්ගෙම වත්තට බැහැලා හරි එහෙම නැත්තම් අවට ලස්සන කුඹුරක් ළඟ, දිය පාරක් ළඟ වගේ තැනක් තියෙනවනම් එහෙම තැනකට හරි, නැත්තම් ඔය ඇවිදින මංතීරුවක් කිට්ටුවකට හරි ගිහිල්ලා දරුවෝ එක්ක විනෝද වෙන්න පුළුවන්. බිමට රෙද්දක් එලාගෙන, කෑම බීම ගන්න ගමන්, සින්දුවක් කියලා, සෙල්ලමක් කරලා අම්මලා තාත්තලා එක්ක විනෝද වෙන එක කොච්චර ලස්සන අත්දැකීමක් වේවිද දරුවන්ට? යන්නෙත් දවසෙන් බාගයක් තරම්.
Leave a Reply