ක්‍රිටිකල් තින්කින් හැකියාවන් දියුණු කරගන්න ක්‍රම කීපයක්!

දැන් කාලේ වැඩි වැඩියෙන් ඇහෙන කතන්දරයක් තමයි මේ ක්‍රිටිකල් තින්කින් කියන්නේ. ඇත්තටම මොකද්ද මේකේ තේරුම? ක්‍රිටිකල් තින්කින්ග් කියන්නේ පැහැදිලිව, තර්කානුකූලව සිතන්න මතන්න පුළුවන්කමක් තිබීම. අදහස් අතරේ තියෙන තාර්කික සම්බන්ධතාවය අවබෝධ කරගන්න පුළුවන් වීම. උදාහරණයක් විදියට ගත්තොත්, ඔෆිස් එකේ තමන්ගේ ටීම් එකත් එක්ක යම් කිසි ව්‍යාපෘතියක් කරනවා කියමු. දැන් ඔන්න අපිට යම් කිසි තීරණයක් ගන්න වෙනවා මේ සම්බන්ධව. එතකොට සාමාන්‍ය විදියට හිතන කෙනෙක් එක්කෝ කණා පාරක් ගහලා තීරණය ගනියි, එහෙම නැතිනම් බැලූබැල්මට පේන දේවල් දිහා බලලා තීරණයක් ගනී. හැබැයි ක්‍රිටිකල් තින්කර් කෙනෙක් කරන්නේ මේ තීරණයට බලපාන සියලුම තොරතුරු, කරුණු, සාධක එකතු කරගන්න එක. ඊටපස්සේ ඒ එකතුකරගත්තු දත්ත විශ්ලේෂණය කරන එක. අන්න ඊට පස්සේ ඒ විශ්ලේෂණයෙන් ලබාගත්තු දැනුම පාවිච්චි කරලා තීරණයක් ගන්න එක. 

ඊට වඩා සරල උදාහරණයකට ගියොත් එහෙම, ලෝයර් කෙනෙක් නඩුවක් භාරගන්නකොට ඒ නඩුවේ ස්වභාවය, නඩුවට අදාළ අයගේ තොරතුරු ඔක්කොම දැනගෙන, ඒවා කිරලා මැනලා බලලා උපදෙසක් දෙනවා තමන්ගේ සේවාදායකයට මොකක්ද ගන්න ඕන හොඳම පියවර කියන එක. මේක ඇත්තටම පොතේ දැනුමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොතේ දැනුම අවශ්‍ය වෙන්නේ දත්ත එකතු කරගන්න සහ විශ්ලේෂණයට විතරයි. ඊට එහා ගිහින් හැකිතාක් නිවැරදි තීන්දුවක් ගන්න නම් ක්‍රිටිකල් තින්කින්ග් අවශ්‍යයි.

තව දෙයක්. ක්‍රිටිකල් තින්කින්ග් අවශ්‍ය වෙන්නේ වෘත්තීය ජීවිතයේදී විතරක් නෙවෙයි. ඇත්තටම හොඳ ක්‍රිටිකල් තින්කින්ග් හැකියාවක් තියෙන මනුස්සයෙක්ට තමන්ගේ පුද්ගලික ජීවිතේදී, සම්බන්ධතා වලදී පවා හොඳ ප්‍රතිඵල ලබාගන්න, වඩාත් සාර්ථක තීන්දු තීරණ ගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්න ප්‍රයෝජනවත් වෙන කරුණු කාරණා කීපයක් ගැන හරි හොයලා බලන එක වටින්නේ.

 

1. පුළුල් දැනුම් පදනමක් ලබාගමු

ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්න නම් දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. හැබැයි මේ දැනුම ලබාගන්න ආයෙමත් ඉස්කෝලේ යන්න වුවමනා නෑ. අපි සාමාන්‍යයෙන් අධ්‍යාපනයක් ලබාගෙන තියනවා නම්, අපිට තනියෙන් අපිට උගන්වන්න හැකියාවත් තියෙන්න ඕන. අන්න ඒ නිසා, අපි යෙදෙන යම් කිසි ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් වගේම, ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන වෙනත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙනුත් හොඳ දැනුමක් ගොඩනගා ගැනීම අවශ්‍ය කාරණයක්. මෙතනදී අපිට වුවමනා නම් යම් කිසි පාඨමාලාවක් හදාරන්න පුළුවන්. ඕන නම් ඔන්ලයින් පාඨමාලා එහෙමත් තියෙනවා නොමිලේ, තමන්ට අවශ්‍ය කාලයත් එක්ක සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ ගැන කියවන්න පුළුවන්. යූටියුබ් වීඩියෝ හෝ පොඩ්කාස්ට් ඔස්සේ ඉගෙන ගන්න පුළුවන්. මේ ඕනම ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඉගෙන ගන්න තමයි ඕන කරන්නේ.

 

2. මූලික ප්‍රශ්න අහමු

ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා, දැනුමෙන් පූර්ණ කෙනෙක් අහන ප්‍රශ්නත් අතිශයින්ම බරපතළ වෙන්න ඕන කියලා. ඇත්තටම නෑ. තමන් වඩාත් හොඳ ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්න වෙන්න, තමන් අහන ප්‍රශ්නත් වඩාත් සරල සහ මූලික වෙන්න ඕන.ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තරම් සරල වෙන්න ඕන. එහෙම සරල ප්‍රශ්න ඇසීම ඔස්සේ කෙනෙක්ට යම් කිසි ගැටළුවක මූලයටම යන්න පුළුවන්. “මේ ප්‍රශ්නය ගැන ඔබ මේ වෙනකොට දන්නේ මොනවද?”, “ඒක දැනගත්තේ කොහොමද?”, “මෙතනදී අපිට අවශ්‍ය කරන්නේ මොකක් සනාථ කරන්නද?”, “මෙතනදී අපිට මගහැරිලා තියෙන්නේ මොනවද?” වගේ ප්‍රශ්න වලින්, ඇත්තටම සෑහෙන්න දුරක් යන්න පුළුවන්.

 

3. නිකම්ම උපකල්පනය අත් හරිමු

සාමාන්‍යයෙන් මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු වැඩි දෙනෙක් කරන්නේ උපකල්පනය කරන එක. ඒ කියන්නේ අපේ වත්තේ කොහෙන් ආවද දන්නෙ නැති කුණු උරයක් තිබ්බොත්, එක පාරම උපකල්පනය කරනවා එකත් එකටම ඒක දාන්න ඇත්තේ අල්ලපු ගෙදර මිනිහා තමයි කියලා. හැබැයි එහෙම උපකල්පනය කරන්න පදනම වෙන්නේ අල්ලපු ගෙදර මිනිහට තමයි එහා පැත්තේ ඉඳලා ලේසියෙන්ම ඕක දාන්න පුළුවන් කියන එක විතරයි. හැබැයි ඇත්තටම ක්‍රිටිකල් තින්කර් කෙනෙක් කොයි මොහොතකවත් හුදු උපකල්පනයන්ට යන්නෙ නෑ. හේතුව උපකල්පනයක් වැරදි වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා යම් කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන්ගේ හිතට උපකල්පනයන් ආවත්, ක්‍රිටිකල් තින්කර් කෙනෙක්  ඒ උපකල්පනයන් පවා ප්‍රශ්න කරනවා.

 

4. ප්‍රශ්නේ පිටිපස්සට හිතමු

දැන් අපි මොකක් හරි ගැටළුවක් විසඳන්න ගියහම අපි හිරවෙන්න පුළුවන්. නැද්ද? එහෙම අවස්ථා ඕන තරම් එනවා. අන්න එතකොට ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි ප්‍රශ්නේ ආයෙමත් පිටිපස්සට යනකල් හිතලා බලන එක. මතක ඇතිනේ අර බිත්තරේද කුකුළද කියන කතන්දරේ. ඇත්තටම ඒක ජෝක් එකක් විදියට ඇහුවත්, ඇත්තටම ඒක ක්‍රිටිකල් තින්කින් ප්‍රශ්නයක් විදියටත් ගන්න පුළුවන්. බිත්තරේ දාන්න නම් කිකිළියක් ඉන්න ඕන, කිකිළියක් එන්න නම් බිත්තරයක් තියෙන්න ඕන. හැබැයි අර මුලින් අපි කියපු දැනුමෙනුත් ක්‍රිටිකල් තින්කර් කෙනෙක් සන්නද්ධ නම්, තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මුලින්ම එන්නේ කුකුල් බිත්තරේ තමයි කියලා. මොකද කුකුළන් නොවෙන ඒත් කුකුළන්ට සමාන සත්තු දෙන්නෙක් – ප්‍රොටෝ-චිකන් කියතහැකි- තමයි පළවෙනි කුකුල් බිත්තරේ දාන්නේ. හැබැයි තව පිටුපස්සට ගියොත් අපිට ජීවය ඇතිවුණු ආදි සූපය දක්වාම යත හැකි.

කොහොම හරි මෙතන තව දෙයක් තියෙනවා. අපි හිරවුණු මොහොතක ප්‍රශ්නේ පිටිපස්සට හිතාගෙන යනවා කියන්නේ ඒ ප්‍රශ්නේ පරිණාමය වුණු, ගොඩනැංවුණු ප්‍රොසෙස් එක ගැන අපිට හොඳ අදහසක්, දැනුමක් ලැබෙනවා, අර හිර වුණු තැනින් එහාට ප්‍රශ්නේ විසඳන්න යතුර තියෙන්නේ අන්න එතන වෙන්න පුළුවන්.

 

5. තියෙන සාක්ෂි කිරා මැන ඒවෑයින් ඉගෙන ගමු

ඇත්තටම අපිට ක්‍රිටිකල් තින්කින්ග් වලදී වැදගත් වෙන කාරණාවක් තමයි අපේ අතේ මේ වෙනකොට තියෙන සාක්ෂි හෝ අපිට මීට පෙර මේ වගේ සමාන අවස්ථාවකදී මුණගැහිලා තියෙන සාක්ෂි සාධක කියන එක. මේක ඉතිහාසයෙන් ඉගෙන ගැනීම කියලා කිවුවත් හරි. අපිට පුළුවන් වෙන්න ඕන අපේ පූර්ව අත්දැකීම් එක්ක, අපි අතේ දැනට තියෙන සාක්ෂි විශ්ලේෂණය කරලා බලන්න. ඒ අතරේදීම, මේ සාක්ෂි කවුද එකතු කළේ, කොහොමද එකතු කළේ, ඇයි එකතු කළේ කියන ප්‍රශ්නත් අහලා බලන්න ඕන. අන්න ඒ ඔස්සේ අපිට ඒ සාක්ෂි කොයි තරම් නිවැරදිද කියන එක ගැන දැනගන්න පුළුවන්.

 

6. සක්‍රීයව ඇහුම්කන් දීම ප්‍රගුණ කරමු

අද කාලේ කීදෙනාගෙන් කීදෙනෙක්ද හරියට දේකට ඇහුම්කන් දෙන්නේ? දෙයක් ඉවර වෙනකල් කියවන්නේ? අන්න ඒක ඇත්තටම ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්න බොහොම වැදගත් කාරණාවක්. මෙතනදී සක්‍රීයව ඇහුම්කන් දෙනවා කියන්නේ, යම් කිසි දේකට පූර්ණ අවධානය ලබාදීලා අහගෙන ඉන්න එක. ඒ වගේම කියවන එකටත් අදාළ ඒකම තමයි. ඒකට පූර්ණ අවධානයක් තියෙන්න ඕනා. ඒ වගේම මේ සක්‍රීය ඇහුම්කන් දීම හෝ සක්‍රීය කියැවීම කරන අතරේ අදාළ කරුණු සටහන් කරගත්තත් කමක් නෑ. මොකද, තමන්ට කොයි තරමේ ෆොටෝග්‍රැෆික් මෙමරි එකක් තිබ්බත්, දේවල් ලියලා සටහන් කරලා තියාගන්න එකත් ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ගේ පුරුද්දක්. එතකොට තමන්ගේ මතකයට දෙයක් මිස් වුණත්, නෝට් පොතට මිස් වෙන්නෙ නෑ!

 

7. තාර්කික භාවයක් ඇති කරගමු

ක්‍රිටිකල් තින්කර් කෙනෙක් සාමාන්‍ය කෙනෙක්ගෙන් වෙනස් වෙන ප්‍රධානතම තැනක් තමයි, ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට හැමවෙලේම තාර්කිකව හිතන්න පුළුවන් හැකියාව. එයා ඕනම දෙයක් ගැන බලන්නේ තර්කානුකූලව. එයා හැම මොහොතකම අපෝහනාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරලා තමයි දෙයක් ගැන අදහසක් ගන්නේ. ඒ කියන්නේ, තාර්කික ක්‍රමවේදයකින් හිතලා බලන එක. ඒ වගේම ක්‍රිටිකල් තින්කර් කෙනෙක් ඒ තාර්කික භාවය නිසාම, තමන්ට දකින්න ලැබෙන ඕනම දෙයකට පදනම් වෙන මූලාශ්‍ර මොනවද කියන තැනට එනකල් යනවා. අන්න ඒ නිසාම, ක්‍රිටිකල් තින්කර් කෙනෙක් පහසුවෙන් රැවටෙන්නෙ නෑ.

 

8. තමන්ගේ මෙන්ටල් ප්‍රොසෙස් එක ගැන සවිඥාණික වෙමු

ගොඩක් වෙලාවට තමන් ක්‍රිටිකල් තින්කර්ස්ලා කියලා හිතාගෙන ඉන්න අය කරන්නේ අහන දකින හැමදේම, හැමකෙනාවම ප්‍රසිද්ධියේ විවේචනය කරන එක. හැබැයි ඇත්තටම ක්‍රිටිකල් තින්කර් කෙනෙක් ඊට වඩා තමන්ගේ ඇතුළු හදට තමයි නැඹුරුවෙලා ඉන්නේ. ඇත්තටම ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වඩාත් සවිඥාණික වෙන්නේ තමන්ගේ ස්වයං-පිළිබිඹුව ගැන. 

තවත් පැහැදිලිව කිව්වොත් ක්‍රිටිකල් තින්කර් කෙනෙක් තමන්ගේ මෙන්ටල් ප්‍රොසෙස් එක ගැන හිතලා බලන්න, ඒ ගැන දැනුවත් වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ යම් ප්‍රශ්නයක් ගැන හිතනකොට තමන් නොදැනුවත්වම පක්ෂපාතී වෙලා හිතන්න පුළුවන් තැන්, තමන් නොදැනුවත්වම නොසලකා හරින්න පුළුවන් තැන් ගැන හිතලා, හොයලා බලන්න පටන් ගන්නවා. අන්න ඒ ඔස්සේ ක්‍රිටිකල් තින්කර් කෙනෙක්ට පුළුවන් වෙනවා ඒ වගේ තමන්ගේ තීරණයට අනවශ්‍ය බලපෑමක් කරන්න පුළුවන් තැන් හඳුනගන්න.

 

දැන් යම් කිසි අවබෝධයක් ඇතිනේ ක්‍රිටිකල් තින්කර් කෙනෙක් වෙන්නේ කොහොමද, ක්‍රිටිකල් තින්කර් කෙනෙක් ප්‍රශ්නයක් දිහා බලන්නෙ කොහොමද කියලා. අපි ඉස්සරහටත් හොයලා බලමු අපේ ඇතුළේ මේ ක්‍රිටිකල් තින්කින්ග් හැකියාවන් තව වර්ධනය කරගන්නේ කොහොමද කියන එක ගැන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *