රජ උරුමය කරුමයක් වූ රජ කුමරියෝ

කාට හරි සුවිශාල සැප සම්පත් හිමි වෙනවා නම් අපි කතාවට කියන්නේ රජසැප හම්බ වෙනවයි කියලා. හැබැයි මේ වෙද්දි ලෝකයේ රජ පවුල් ගණනාවකින් අපිට ඇහෙන්නේ රජ සැප හොඳයි කියන කතාව නම් නෙමෙයි. ඇතැම් අවස්ථාවල ඒ කතා ඇහෙද්දි රජ සැප විඳිනවාට වඩා හිඟා කන එක හොඳයි කියලා සමහරු මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ රජ සැප කරුමයක් වූ කුමරියන් කිහිප දෙනෙක් පිළිබඳව.

 

1. ඩයනා කුමරිය 

අවිවාදයෙන්ම මේ මාතෘකාව ගැන කියද්දීම ඔබේ ඔළුවට එන්න ඇත්තේ ඩයනා කුමරියගේ නම. ඉතා ලාබාල වියේදී එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා සමග  විවාහ වෙද්දි මුළු ලෝකේ ඉන්න වාසනාවන්තම තරුණිය තමන් බව ඇයත් හිතන්න ඇති. ඒත් චාල්ස් කුමාරයාගේ පැරණි පෙම් සබඳතාවය නිසා ඇය මානසික ආතතියට ලක් වුණා. එහි ප්‍රතිඵලය වුණේ රජ පවුලට සහ ඔහුට ඇය වෛර කිරීමයි. විටින් විට සිය පෙම්වතුන් මාරු කළ ඇය අවසානයේදී සිය පෙම්වතා සමග පැරිසියේ දී රිය අනතුරකින් මියගියා. එම මරණය සිදු වුණු ආකාරය පිළිබඳව ඇතැම් අය අදටත් සැක පහළ කරනවා.

 

2. සාරා ෆර්ගියුසන්

දෙවැනි  එළිසබත් රැජිනගේ දෙවැනි පුත් කුමාරයා වන ඇන්ඩෘ කුමරුගේ බිරිඳ වන සරා ෆර්ගියුසන් ආර්යාව රජ පවුලට ගැළපෙනම සාමාජිකයා වනු ඇතැයි කියායි බොහෝ දෙනෙක් හිතුවේ. විවාහයට පෙර දී පවා ඇගේ පවුලේ සාමාජිකයන් රජ පවුලට සමීපතමයන් වීම ඊට එක් හේතුවක්. නමුත් ඩයනාට සේම සාරාටත් විවාහය මල් යහනාවක් වුණේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ දික්කසාදයයි.

 

3. මේගන් මාකෙල් 

මීට වසරකට පෙර සසෙක්ස්හි ආදිපාද හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ රාජකීය කටයුතුවලින් සමු ගැනීමට තීරණය කිරීම මුළු ලෝකය පුරාම ආන්දෝලනයට ලක් වුණා. ඉතා මෑතකදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රජ පවුල තුළ තමන් පිටස්තරයෙකු බවට පත් වුණු ආකාරය පිළිබඳව ඇය හෙළි කොට තිබුණා. මෙම ගැටළුකාරී තත්ත්වය ඔවුන්ට රාජකීය කටයුතුවලින් සමුගැනීමේ තීරණය ගැනීමටත් එක් හේතුවක් වූ බව දෙදෙනාම පවසා තිබෙනවා.

 

4. කැරොලයින් බිසව 

ප්‍රාදේශීය ජර්මානු රජ පවුලකට අයත් කුමරියක් වූ ඇය එංගලන්තයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු සමඟ විවාහ වුණා. නමුත් එම විවාහය දිනෙන් දින අර්බුදයට පත් වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා වෙනම ජීවත්වීමට පෙළඹීමයි. පසුව ජෝර්ජ් කුමරු හතරවෙනි ජෝර්ජ් ලෙස සිංහාසනයට පත් වීමේදී ඇයව එම උත්සවයට සහභාගී කරගැනීම වැළැක්වීමට නියෝග පවා පැනවූවා. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දොරටුවේ දී ඇයව හරවා යැවුණු අතර ඉන් සති තුනකට පසුව ඇය මිය ගියා.

 

5. මසාකෝ අධිරාජිනිය 

වර්තමානයේ ජපන් අධිරාජිනිය වන මසාකෝ අධිරාජිනිය සාමාන්‍ය පවුලක සාමාජිකාවක්ව සිට විවාහය මගින් ජපන් රජ පවුල සමඟ එක් වූ තැනැත්තියක්. උගත් සහ සමාජශීලී තැනැත්තියක් වූ ඇයට රැකියාව පමණක් නොව  සමාජ සබඳතා ද මෙම විවාහයත් සමඟ අත්හැරීමට සිදු වූවා. ඉන්පසුව දරු ප්‍රසූතිය සඳහා ඇයට එල්ලවුණ පීඩනය සමඟ මානසික ආතතියට ඇය ගොදුරු වුණු අතර අද දක්වාම ඇය පරිපූර්ණ සුවය ලබා නොමැති බව පැවසෙනවා.

 

6. ෂෙයිකා ලටීෆා 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්තමාන අග්‍රාමාත්‍ය  ධූරය දරන මුහම්මද් බින් රෂීඩ්ගේ දියණියක වන ඇය 2018 වසරේ දී ඒ රටින් පලා ගියේ සිය පවුල තුළ කාන්තාවන්ට එල්ල වන පීඩනයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින්. නමුත් අවාසනාවකට මෙන් රජ පවුල ඊට දරුණු ආකාරයෙන් ප්‍රතික්‍රියා දැක්වූ අතර ජාත්‍යන්තර මුහුදේ යාත්‍රාවක ගමන් කරමින් සිටියදී ඇයව නැවතත් පැහැරගෙන ඩුබායි වෙත බලයෙන් ගෙනෙනු ලැබුවා. වර්තමානයේ ඇගේ ඉරණම කුමක්ද යන්න පිළිබඳව එකිනෙකට පරස්පර වාර්තා නිකුත්ව පවතිනවා.

 

7. හයා බින් හුසේන්

මහම්මඩ් බින් රෂීඩ්ගේ දෙවන බිරිඳ වන හයා බින් හුසේන් කුමරිය ජෝර්දාන රජ පවුලට අයත් කුමාරිකාවක්. උපතින්ම රජ සම්පත් උරුමව තිබුණත් ඇයටත් විවාහය සමග සිය මාළිගයේ ගතකරන ජීවිතය එපා වී තිබුණා. අවසානයේ දී ඇය සිය දරුවන් දෙදෙනා සමග මහා බ්‍රිතාන්‍ය වෙත පළා යෑමට සමත් වුණා. රෂීඩ් විසින් දරුවන්ගේ භාරකාරීත්වය තමන් වෙත ඉල්ලා නඩු පවරනු ලැබූවත් එය සාර්ථක වුණේ නැහැ.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *