බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ගැන ලෝකය පුරා විවිධ අයුරින් පුවත් මැවෙනවා. Lifie අපිත් විවිධ අවස්ථාවල බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ගැන වගේම රාජකීය සම්ප්‍රදායන් පිළිබඳව ලිපි ගණනාවක් ඔබ වෙත ගෙන ආවා. ඉතින් අපි හිතුවා ඒ ලිපි මාලාවේම දිගුවක් විදිහට බ්‍රිතාන්‍ය රජ පවුලේ නෑදෑයින් පිළිබඳව කතා කරන්න.
1. ඩේවිස් ආම්ස්ට්‍රෝන්ග් ජෝන්ස්
දෙවැනි එළිසබත් රැජිනගේ නැගණිය වන මාග්‍රට් කුමරියගේ සහ ඇගේ සැමියා වන ඇන්තනි ආම්ස්ට්‍රෝන්ග්ගේ වැඩිමහල් පුත්‍රයා වන ඩේවිස් ආම්ස්ට්‍රෝන්ග් සිය පියාගේ ගෞරව නාමය වන ස්නෝඩවුන්හි අර්ල්වරයා යන ගෞරව නාමයේ වර්තමාන හිමිකරුවායි. බ්‍රිතාන්‍ය සිහසුන හිමි ධූරාවලිය අනුව දෙවන එළිසබත් රැජිනගෙන් පැවතගෙන එන්නන්ගෙන් පසුව පළමුවැන්නා වන්නේද ඔහුයි. 1961 වසරේ දී ඔහු උපත ලබද්දී එම ධූරාවලියේ පස්වැනි ස්ථානයේ ඔහු පසුවූවා. සෙරීනා සෙන්ට්හෝප් සමග විවාහ වූ ඔහු මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. කෙසේ නමුත් 2020 වසරේදී තමන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශයට පත් කළා.
2. සාරා චැටෝ ආර්යාව
මාග්‍රට් කුමරියගේ දියණිය වන සාරා චැටෝ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ විවාහයේදී දෙවැනි මනාලියක ලෙස එම උත්සවයට ඇය සහභාගී වූවා. ඩැනියෙල් චැටෝ සමඟ විවාහ වූ ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක වනවා. සිය මවගේ මිය යෑමෙන් පසුව රාජකීය බැලේ සංගමයේ උප සභාපති තනතුර භාරගැනීමට ඇය තීරණය කළේ එම සංගමය වෙනුවෙන් සිය මව දක්වන ලද දායකත්වයට කරනු ලබන උපහාරයක් ලෙසයි.
3. ග්ලෝසෙස්ටර්හි ආදිපාද රිචඩ් කුමාරයා
බ්‍රිතාන්‍ය රාජකීය ධුරාවලියේ හයවෙනි ජෝර්ජ් රජුගෙන් පැවැතගෙන එන්නන්ගෙන් පසුව එහි ඉහළම ස්ථානයේ සිටින රාජකීයයා වන්නේ ග්ලෝසෙස්ටර්හි ආදිපාදවරයායි. දෙවැනි එළිසබත් රැජනගේ සීයා වන පස්වන ජෝර්ජ් රජුගේ පුත්‍රයෙකු වන ග්ලෝසෙස්ටර්හි ආදිපාද හෙන්රි කුමරුගේ දෙවැනි පුත්‍රයා වන රිචඩ් හට එම ආදිපාද ධූරය හිමි වුණේ සිය වැඩිමහල් සහෝදරයා වූ විලියම්ගේ හදිසි අභාවය නිසායි.
4. කෙන්ට්හි ආදිපාද එඩ්වඩ් කුමාරයා
පස්වැනි ජෝර්ජ් රජුගේ තවත් එක් පුත්‍රයෙකු වූ කෙන්ට් ආදිපාද ජෝර්ජ් කුමාරයාගේ වැඩිමහල් පුත්‍රයා වන එඩ්වඩ් හට සිය පියාගේ ගෞරව නාමය උරුම වූයේ වයස අවුරුදු හයේදීයි. ඒ ගුවන් යානා අනතුරක ප්‍රතිඵලයක් ලෙස ජෝර්ජ් කුමරුගේ ජීවිතය අහිමි වීම නිසායි. දෙවැනි එළිසබත් රැජිනට සුවිශේෂී සහයෝගයක් ලබාදෙන එඩ්වඩ් කුමරු මේ වන විට ස්වෙච්ඡා සංවිධාන එකසිය හතළිහකට ආසන්න ප්‍රමාණයක් සඳහා සිය දායකත්වය ලබා දෙනවා.
5. කෙන්ට්හි මයිකල් කුමරු
ජෝර්ජ් කුමරුගේ බාල පුත්‍රයා වන මයිකල් කුමරු යුරෝපයේ විවිධ රටවල පැවැත්වෙන රාජකීය උත්සව සඳහා දෙවැනි එළිසබෙත් රැජන නියෝජනය කරමින් සිය සහභාගීත්වය ලබා දෙනු ලබනවා. මේ නිසාම රාජකීයයන් පිළිබඳව නිෂ්පාදනය කරනු ලබන විවිධ වාර්තා වැඩසටහන් සඳහාත් ඔහු සිය නොමසුරු දායකත්වය ලබා දෙනවා. රුසියාව තුළ අතිශයින් ජනප්‍රිය චරිතයක් වන ඔහු එරට දේශපාලනඥයින් සමඟ සමීප සබඳතා පවත්වාගෙන යනවා.
6. ඇලෙක්සැන්ඩ්රා කුමරිය
කෙන්ට්හි ආදිපාද ජෝර්ජ් කුමරුගේ බාලම දියණිය වන ඇයගේ උපත බ්‍රිතාන්‍ය රජ පවුල හා සම්බන්ධ එක සම්ප්රදායක අවසානයද සටහන් කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය සිහසුනේ උරුමකරුවන් ඉපදෙන අවස්ථාවේ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැමිණීම සිදු වුණා. අවසන් වතාවට මේ සම්ප්රදාය අනුගමනය කෙරුණේ ඇගේ උපතේදීයි. ඇන්ගස් ඔගිල්වී නම් සුප්‍රකට ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ ඇයට දරුවන් දෙදෙනකු සිටිනවා. ඇලෙක්සැන්ඩ්රා කුමරිය ද සිය ඥාති සහෝදරිය වන දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් දේශීය සහ විදේශීය උත්සව ගණනාවක මුලසුන හොබවා තිබෙනවා.
7. මාග්‍රට් එල්ෆින්ස්ටන්
දෙවැනි එළිසබත් රැජනගේ මව වන එළිසබෙත් බිසවගෙ සහෝදරිය වන මේරී බෝව්ස් ලයින්ගේ දියණිය වන මාග්‍රට් එල්ෆින්ස්ටන් සැලකෙන්නේ ඥාති සහෝදරියකට වඩා ඇයගේ හොඳම මිතුරිය ලෙසටයි. ඔවුන් දෙදෙනා අතර පරතරය අවුරුද්දක් පමණ වන අතර බාල කාලයේ පටන් ඔවුන් සමීප මිතුරියන් බවට පත් වුණා. දෙවන එළිසබත් රැජනගේ විවාහයේ දෙවැනි මනාලිය ලෙසද එක් වූ ඇය 2016 මිය යෑම බ්‍රිතාන්‍ය රජ පවුලටම දැඩි ශෝකජනක අත්දැකීමක් වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ලිපියේ තවත් කොටසක් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා.
Leave a Reply