ගෘප් චැට් වලදී හැසිරෙන විදිය හරියට දැනගමුද?

දැන් අපි මේ ගෙවන්නේ කොවිඩ්-19 එක්ක යන නිව් නෝර්මල් තත්ත්වයක්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වැඩ කරන්නෙත් ගෙදර ඉඳන්, ඉගෙන ගන්නෙත් ගෙදර ඉඳන්, බඩු ගෙන්නගන්නෙත් ගෙදර ඉඳන්. ඒ වගේම කොවිඩ්-19 එක්ක කර්ෆිව් ආපු මුල් කාලේ ඉඳලම අපේ සමාජ සම්බන්ධතාත් ගෙදර ඉඳලම පවත්වන්න සිද්ධ වුණා. උදාහරණයක් විදියට කිවුවොත්, ඉස්සරට තිබුණට වඩා අපේ වට්ස්ඇප් එකේ, මැසෙන්ජර් එකේ කොයි තරම් ගෘප්ස් තියෙනවද? ෆන් එකට වගේම, ඔෆිස් වැඩ වලටත්, වෙනත් වැඩ කටයුතු වලටත් සන්නිවේදනය කරන්න අපි ගෘප්ස් හදාගන්න ප්‍රවණතාවය සෑහෙන්න ඉහළ ගිහින් තියෙනවා.

 

දැන් මෙහෙම ගෘප්ස් තියෙන එකේ කිසිම ගැටළුවක් නෑ. හැබැයි, වෙන ඕනෑම තැනක වගේම මේ චැට් ගෘප් වලත් අපි කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් තියෙනවා. සමහර දේවල් නම් තනිකරම සාමාන්‍ය දැනීම. හැබැයි ඉතින් අවාසනාවකට ඇත්ත කතාව වෙන්නේ සමහරුන්ට ඔය සාමාන්‍ය දැනීමත් නැති එකනේ. ආන්න ඒ නිසා අපි හිතුවා, ගෘප් චැට් එකකදී හැසිරෙන්නේ කොහොමද, ගෘප් චැට් එකක ඉන්නවා නම් නොකළ යුතු දේවල් මොනවද කියන එක ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න!

 

 

1. කාවද ඇඩ් කරන්නේ?

 

මෙන්න මේක දෙයාකාරයකට වැදගත් වෙනවා. එකක් තමයි ගෘප් එකකට ඇඩ් කරන්න ඕන ගෘප් එකට අදාළ අය. අපි කියමු මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට හදපු ගෘප් එකක් කියලා. එතකොට විශේෂයෙන්ම ඒකට ඇඩ් කරන්න ඕන ඒ ප්‍රොජෙක්ට් එකට සෘජුවම සම්බන්ධ වෙන අයවළුන්ව විතරයි. ඊට පස්සේ අපි කියමු ප්ලේස්ටේෂන් ගේම්ස් ගහන එවුන්ගේ ගෘප් එකක් කියලා. එතකොට ඒකට ඇඩ් කරන්න ඕන ප්ලේස්ටේෂන් ගේමර්ස්ලා සහ අඩු තරමින් ප්ලේස්ටේෂන් ගේමින් වලට උනන්දුවක් තියෙන කෙනෙක්ව විතරයි. මේක ඔය පර්සනල් යාළු මිත්‍ර ගෘප් වලට සෑහෙන්න අදාළ වෙනවා.

 

අනික් කාරණාව, එහෙම අදාළ නැති කෙනෙක්ව යම් කිසි ගෘප් එකකට ඇඩ් කරන එක ඒ මනුස්සයට විතරක් නෙවෙයි කරදරයක් වෙන්නේ. ගෘප් එකේ ඒ වෙනකොට ඉන්න අයටත් ඒක අපහසුතාවයක් වෙනවා.

 

 

2. අදාළ නෑනේ!

 

මේක ඉතින් තනිකරම සාමාන්‍ය දැනීමට අදාළ කාරණාවක්. ඒ කියන්නේ තමන් ඉන්න චැට් ගෘප් එකට අදාළ නැති දේවල් ෂෙයාර් කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ඉස්කෝලේ ඕල්ඩ් බෝයිස් එකේ ඔෆීෂියල් කාරණා කතා කරන්න තියෙන ගෘප් එකට වැල වීඩියෝ, ගෑණු කෑ ගහන වීඩියෝ යවන්නේ තනිකරම තැන නොතැන නොදන්න යූසර්ස්ලා විතරයි. ඒ වගේම, මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට තියෙන ගෘප් එකක් කියමු. ඒකේ කතා නැතුව ගෘප් එක පාළුවට ගියත්, ඔය කොහෙන් හරි තමන්ට ආපු පොලිටිකල් දේවල් සම්බන්ධ ක්ලිප්ස්, මීම්ස් අනං මනං ෂෙයාර් නොකර ඉන්න එක වඩා හොඳයි. මොකක් හරි ගෘප් එකකට අදාළ නොවන, ඒත් ෂෙයාර් කරන්න අවශ්‍යයි කියලා හිතෙන වැදගත් දෙයක් ෂෙයාර් කරන්න ඕන නම්, ඒක කලින් කියලා අවසර ඉල්ලලා ෂෙයාර් කළාට කමක් නෑ.

 

 

3. ස්පෑම්ස් එපා!

 

අදාළ නැති ඒවලත් එක්ස්ට්‍රීම් එක තමයි මේ. චැට් ගෘප් වල ස්පෑම් කරන එක. අපි කියමු සාමාන්‍යයෙන් ඕනම දෙයක් කතා බහ කරන, කුණුහරුපයක් වුණත් ෂෙයාර් වෙන පොදු යාළුමිත්‍ර ගෘප් එකක් තියෙනවා කියලා. දැන් ඔය ගෘප් එකේ අපි දානවා මොකක් හරි අපේ කොම්පැණිය සම්බන්ධ ඇඩ් එකක්. හරි, ගැටළුවක් නෑ. කවුරු හරි දැනුවත් වෙයිනේ. හැමෝටම ඒක වැදගත්කමක් තියෙයිනේ. හැබැයි ඔන්න පැයකින් විතර ආයෙමත් ඕක දානවා. ඊට පස්සේ හවසටත් ආයෙමත් දානවා. ඊලඟ දවසේ උදේටත් ආයෙමත් ඔය ඇඩ් එකම ගෘප් එකට එවනවා. ආන්න ඒවා තමයි ස්පෑම් කියන්නේ. දෙයක් අදාළ නම් එක පාරක් එව්වහම ඇති. ආයෙ ආයෙත් එවන එක ගෘප් එකේ ඉන්න අනිත් අයට පුදුමාකාර කරදරයක්.

 

 

4. මයික් කන්නෝ වගේ වෙන්න එපා!

 

මේ මයික් කන්නෝ කියලා අපි කියන්නේ ඔය කොහේදි හරි මයික් එකක් අහුවුනහම ආයෙ චීෆ් ගෙස්ට් ආවත් මයික් එක අතට නොදී තනියෙන් කියවන උන්දැලටනේ. එහෙම උන්දැලා කොහෙත් ඉන්නවා. චැට් ගෘප් වලත් ඉන්නවා. චැට් ගෘප් වලදී වෙන්නේ, මොකක් හරි දෙයක් ගැන සංවාදයක් හරි සාකච්ඡාවක් හරි යනකොට, ආයෙ තව එකෙක්ට තමන් කියන දේට එරෙහිව යන වචනයක්වත් කියන්න නොදෙන එක. ඒ කියපු එක දේකට එකෙක් රිප්ලයි එකක් ටයිප් කරනකොට, මුන්දෑ මෙසේජ් පහළොවක් විතර එක දිගට එවලා ඉවරයි. එහෙම වෙන්න හොඳ නෑ. චැට් ගෘප් එකක කෙනෙක්ගේ පොයින්ට් එකකට අපි එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි අපි ඒ කෙනාට කතා කරන්න දෙන්න ඕන, ඊට පස්සේ අපේ අදහස ඉදිරිපත් කරන්න ඕන. ආන්න ඒක තමයි විදිය.

 

 

5. සැමට එක විදියට සලකමු!

 

චැට් ගෘප් එකක වුණත්, ගෙදර වුණත්, ඔෆිස් එකේ වුණත්, වෙන කොහේ වුණත් ඉන්න හැමෝටම අපි එක විදියට ගෞරවයෙන් සලකන්න ඕන කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒ වගේම, සාමාන්‍යයෙන් මොකක් හරි විශේෂිත දෙයක් වෙනුවෙන්, මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් නිර්මාණය කරපු චැට් ගෘප් එකකදීත් ඔය සැමට ගෞරව කිරීමට අමතරව, කිසිම කෙනෙක්ට තමන් කොන් වෙලා, සයිඩ්ලයින් වෙලා කියලා හැඟෙන්න නොදෙන එකත් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ඔන්න චැට් එකේ ඉන්න තුන් දෙනෙක් විතරක් මොකක් හරි ඒ තුන් දෙනා විතරක් දන්න ඉන්සයිඩ් ජෝක් එකක් කියලා හිනාවෙනවා. එහෙම නැතිනම් ඒ තුන් දෙනා දවසක සෙට් වුණු එක ගැන ආවර්ජනය කර කර චැට් එක දිගින් දිගටම ගෙනියනවා. දැන් චැට් එකේ ඉන්න අනික් අයට ඒකට දායක වෙන්න පුළුවන්ද? බෑනේ. ආන්න ඒක නිසා තමයි එහෙම කරන්න එපා කියන්නේ.

 

 

6. වලි සබ්ජෙක්ට්ස්!

 

මොනවද වලි සබ්ජෙක්ට්ස් කියලා අමුතුවෙන් කියන්න ඕනෙද? ප්‍රධාන වශයෙන්ම ඉතින් දේශපාලනය සහ ආගම තමයි වලි සබ්ජෙක්ට්ස් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය සුහද සංවාදයක්, එහෙම නැතිනම් යම් කිසි විෂයකට අදාළ සංවාදයක් යන තැනකදී දේශපාලනය සහ ආගම යන සබ්ජෙක්ට් දෙක ඇදගන්න එපා කියනවනේ. ඒක චැට් ගෘප් වලටත් එමම තමයි. විශේෂයෙන්ම යම් කිසි විශේෂිත කාරණාවක් සඳහා හදපු චැට් ගෘප් එකක, ඔෆිස් එකේ චැට් ගෘප් එකක වගේ තැනක ආගමික හෝ දේශපාලනික කාරණා ඇදලා ගැනීම ඉවර වෙන්නේ වලියකින් වෙන්න පුළුවන්. ඒක නරකයි. ඒ විතරක් නෙවෙයි, ඔය ආගම් වලට හෝ එක එක දේශපාලකයන්ට හෝ දේශපාලන පක්ෂ වලට හෝ මඩ ගහන, හිනාවෙන මීම්ස් අනං මනං වුණත් එහෙම අදාළ නැති ගෘප්ස් වල ෂෙයාර් නොකර ඉන්න එකෙන්, වලි ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්.

 

 

7. ගෘප් චැට් එකක නම්බර්ස් අවභාවිතා නොකරන්න

 

මේක නම් අතිශයින්ම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ට අපේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්නේ හොඳට හිතලා බලලානේ. හැබැයි මේ වෙනකොට අපි ටෙලිෆෝන් නම්බර් එක පොදුවේ චැට් ගෘප් වලදී හැමෝටම නිරාවරණය කරනවා. හැබැයි එහෙම කාගෙහරි නම්බර් එකක් චැට් ගෘප් එකෙන් හොයාගන්න පුළුවන් වුණු පළියට ඒක අවභාවිතා කරන එක හරිම කැතයි.

 

උදාහරණයක් විදියට ගත්තොත්, ගෘප් එකේ කෙනෙක්ට පර්සනල් මෙසේජ් එකක් යවනවා නම්, ඒක මොකක් හරි අදාළ කාරණාවකට වෙන්න ඕන. එහෙම නැතුව හායි ඩියර් ගාන්න යන එක කැතයි. කෙලින්ම කියන්න ඕන මම අහවලා, අහවල් ගෘප් එකෙන්, මම කතා කරන්නේ මෙන්න මේ වැඩේට කියලා. එහෙම නැතුව ගෘප් එකේ ඉන්න තමන් ආස ගෑණු ළමයෙක්ට එහෙම ඉන්බොක්ස් ගිහින් හායි ඩියර් ගාන එකෙන් තමන්ට කොලිටියක් නෑ කියන එක තමයි ඇඟවෙන්නේ.

 

ඒ වගේම, චැට් ගෘප් එකේ ඉන්න කෙනෙක්ගේ නම්බර් එක අපිට පහසුවෙන් දකින්න පුළුවන් වුණු පළියට තව කෙනෙක්ට දෙන එකත් වැරදි වැඩක්. කෙනෙක් නම්බර් එක ඉල්ලනවා නම්, මුලින් අදාළ කෙනාගෙන් අහල ඉන්න ඕන නම්බර් එක මෙන්න මේ කෙනාට දෙන්නද කියලා. එතකොට අවසර ලැබුණොත් විතරයි නම්බර් එක දිය යුත්තේ.

 

 

 

දැන් පැහැදිළියිනේ. චැට් ගෘප්ස් ඇත්තටම සෑහෙන්න ඵලප්‍රයෝජන තියෙන සන්නිවේදන ආකාරයක්. හැබැයි හරියට පාවිච්චි කරන්න ඕන. අපි මීට කලිනුත් ලියලා තියෙනවා චැට් ගෘප් වල ඉන්න වාත ඩයල් ගැන. ආන්න ඒකත් මෙහෙම්මම කියවලා ගියා නම් අදහස තව පැහැදිළි වෙයි!

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *